ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

පාතාල නායක මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් 80ක් හෙලිදරව් වෙයි..! ඉන් බහුතරය පොහොට්ටුවේ.

සුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් අසූ දෙනකුගේ (80) තොරතුරු ඒ ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය බුද්ධි අංශ සිකුරාදා වනවිට සොයාගෙන තිබිණි. මෙම දේශපාලනඥයින්ගෙන් අති බහුතරය පොහොට්ටුව නියෝජනය කරන අය බවද වාර්තාවේ. විවිධ පක්ෂවලට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පළාත් සභා මන්ත්‍රීන් හා පාර්ලිමේන්තු නියෝජිතයන් රැසක් මෙම ලැයිස්තුවේ සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මධූෂ් ඇතුළු ප්‍රධාන පෙළේ අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

මෙලෙස සිකුරාදා සවස වනවිට රඳවාගෙන සිටි සමස්ත සැකකරුවන් ගණන 33කි. ඔවුන්ගෙන් රුධිර සාම්පල ලබාගෙන කරන ලද රසායනික පරීක්ෂණ අනුව මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගන්නා මොහොතේදී කොකේන් නැමති මත්ද්‍රව්‍ය පානය කොට සිටි බව තහවුරු වී ඇතැයි ඩුබායි පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට සිකුරාදා වාර්තා කළේය.

මධූෂ් සමඟ කොටුවූ පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත් හිමි තැනැත්තකු සිටි බවට මාධ්‍ය වාර්තා පලවුවද ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි අංශ කිසිදු නිල තොරතුරක් ඒ පිලිබදව වාර්තා කළේ නැත.

දකුණු ආසියාවේ ප්‍රබලම පාතාල නායකයකු වන මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව පසුගිය බ්‍රහස්පතින්දා ඩුබායි රාජ්‍ය වෙත නිල ඉල්ලීමක් කළේය. මෙරට ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඩුබායි පාලක කලීෆා බීන් සෙයිඩ් අල් නයිහැම් මහතා වෙත නිල වශයෙන් මෙම ඉල්ලීම යොමුකළ බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මිනීමැරුම් චෝදනා මත මධූෂ්ට කොළඹදී නඩු පැවරේ

මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ ශ්‍රී ලංකා අධිකරණයේ විශේෂිත නඩුවක් ගොනුකිරීමට නියමිතය.

පොලිස් ප්‍රධානීන් – දෙරටේ නීති විශාරදයන් සහ ගිය සතියේ පවත්වන ලද සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇත. දැනට ඩුබායිහිදී ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ “කොකේන්” නැමැති මත්ද්‍රව්‍ය පානය කිරීමේ වරදටය. ඒ සඳහා එරට අධිකරණයෙන් හිමිවන්නේ වසරකට ආසන්න කාලයක් සඳහා වන සිරදඬුවමකි. ඒ සිරදඬුවම ගෙවීයාමට පෙර මධූෂ් ශ්‍රී ලංකාවට ලබාගැනීම පිණිස උසාවි නියෝගයක් ලබාගැනීම නඩු පැවරීමේ අරමුණ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එතෙක් ඔහු ඩුබායිහි අධි ආරක්ෂිත සිරගෙයක සිරකර තැබෙනු ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

ඩුබායි සහ ශ්‍රී ලංකාව දෙරටේ අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ උදර්පන නීතියට අත්සන් තබා නැති බැවින් අදාළ ඉල්ලීම සිදුකළ බව ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික ප්‍රකාශකයෙක් දේශයට කීය. කොළඹ සිටින ඩුබායිහි තානාපති අංශ විසින් රජයේ ඉල්ලීම පසුගිය සිකුරාදාම ඩුබායි රාජ්‍ය නායකයා වෙත යොමුකර තිබේ.