කෝප් කමිටුවට 16 දෙනෙකුගෙන් සමන්විත සාමාජිකයන් නම් කරයි

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සාමාජිකයන් ප්‍රකාශයට පත්කර තිබේ. ඊයේ (11) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් නව සාමාජිකයන්ගේ නම් ප්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව රජය නියෝජනය කරමින් රාවුෆ් හකීම්, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා, වසන්ත අළුවිහාරේ, රන්ජන් රාමනායක‍, අශෝක් අබේසිංහ, ආචාර්ය හර්ෂ ද සිල්වා, රවීන්ද්‍ර සමරවීර යන මන්ත්‍රීවරුන් කෝප් කමිටුව සඳහා නම්කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රසිරි ගජධීර, මහින්දානන්ද අළුත්ගමගේ, දයාසිරි ජයසේකර, ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් කෝප් කමිටුවට පත්කර ඇති අතර ඊට අමතරව දෙමළ ජාතික සන්ධානයෙන් මාවෙයි සේනාධිරාජා සහ ජනතා විමුක්ති පෙරමුණෙන් සුනිල් හඳුන්නෙත්ති යන මන්ත්‍රීවරුන් කෝප් කමිටුව නියෝජනය කරයි.
පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා වශයෙන් දිවුරුම් දීමත් සමග පාර්ලිමේන්තු කාරක සභා සියල්ල අහෝසි වූ අතර ඉන්පසු නැවතත් එම කාරක සභා සඳහා සාමාජිකයන් පත් කිරීමට සිදුවිය. නැවත රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා දිවුරුම් දීමත් සමග වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන කෝප් කමිටුව සඳහා මෙම සාමාජිකයන් පත්කර තිබේ.
සාමජිකයන් 16 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුවේ සභාපතිවරයා පත් කිරීම කෝප් කමිටුව රැස්වන පළමු දිනයේදී සිදු කිරීමට නියමිතය. මීට පෙර කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතාය.