‘මහින්දගේ විනිසුරෝ‘, ‘මෛත්‍රිගේ විනිසුරෝ‘ සහ ‘යුක්තියේ විනිසුරෝ

ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරු ජෝන් රොබට්ස් (Chief Justice John Roberts) මෙසේ කීවේය.

‘‘අපිට ඔබාමා විනිසුරුවරු , ට්‍රම්ප් විනිසුරන්, බුෂ් විනිසුරන් හෝ ක්ලින්ටන් විනිසුරන් නැහැ. අපට සිටින්නේ තමන් තමන් ඉදිරියේ පෙනී සිටින ඕනෑම අයෙකුට සම අයිතිවාසිකම් ලබාදෙන විශිෂ්ට විනිසුරන් කණ්ඩායමක් පමණයි. ඒ ස්වාධීන අධිකරණය, අප හැම කෙනෙක්ම කෘතඥ විය යුතු දෙයක්.“

”We do not have Obama Judges, Trump Judges or Bush Judges or Clinton Judges. What we have is an extrodinary group of dedicated judges doing their level best to do equal right to those who appearing before them. That indeependent judiciary is something we should all be thankful for”

වෙනත් වදන්වලින් කියනවා නම් ඇමරිකානු අගවිනිසුරුවරයා පවසන්නේ ඇමරිකාවේ සිටින්නේ ට්‍රම්ප් විනිසුරන්, ඔබාමා විනිසුරන්, බුෂ් විනිසුරන් හෝ ක්ලින්ටන් විනිසුරන් නොව, යුක්තියේ විනිසුරන් පමණක් ම වන බව ය.

රාජ්‍ය නායකයාට, අධිකරණයේ ඉහළම නිලයන්ට සාමාජිකයන් නම් කිරීමට සහ/හෝ පත්කිරීමට ලැබෙන විධායක බලය නුතන ප්‍රජාතන්ත්‍රවාදය තුළ බොහෝ රාජ්‍යයන් සම්බන්ධයෙන් දැකගත හැකි ය. එය ඇමරිකාවේදී ද එසේ ය. ලංකාවේ දී ද එසේම ය.

ඇමරිකානු අගවිනිසුරු ජෝන් රොබට්ස් හට මෙම ඓතිහාසික ප්‍රකාශය කිරීමට සිදුවූයේ කට කියවන ජනපති ට්‍රම්ප්, ‘ඔබාමා විනිසුරන්‘ ගැන විශේෂයෙන් කියන්නට යාම නිසාය. ඇමරිකාවේ මෙතෙක් පැවති නීතිවලට අනුව, ඇමරිකාව තුළ ට කුමන හෝ ආකාරයකින් ඇතුල් වන ඕනෑම අයෙක් දේශපාලන රැකවරණය ඉල්ලා සිටීමට සුදුසුකම් ලබයි. නමුත් නොවැම්බර් මස මුල ට්‍රම්ප් මේ නීතිය හිතුමතේට වෙනස් කළේය. ඔහු කීවේ, දකුණුදිග ඇමරිකානු දේශසීමාව හරහා නීතිවිරෝධී ලෙස පැමිණෙන සංක්‍රමණිකයන් කිසිවෙක් දේශපාලන රැකවරණය (අසයිලම්) සඳහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබන බවයි. මේ කාරණය අධිකරණය ඉදිරියේ නොපමාව අභියෝගයට ලක් කෙරුණේ එය අන්තර්ජාතික මානව හිමිකම් නීතියට පමණක් නොව ඇමරිකාවේ සංක්‍රමණික ප්‍රතිපත්තියට ද එකහෙළා විරුද්ධ හෙයිනි. සැන් ෆ්‍රැන්සිස්කෝ දිසා අධිකරණය ඉදිරියේ නඩුව විභාගයට ගත් විට විනිසුරු ජොන් එස්. ටයිගර්, ඓතිහාසික තීන්දුවක් ලබාදෙමින් ට්‍රම්ප්ගේ එම තීරණය බල රහිත බව කියමින් ප්‍රතික්ෂේප කළේය.

නිතර දෙවේලේ අනියත බියකින් පසුවන ට්‍රම්ප්, තමන්ට හෝ තමන්ගේ මතයට එරෙහි තීන්දුවක් ඇමරිකාවේ අධිකරණයකින් තීන්දුවක් ලෙස නිකුත් වන හැමවිටමක නොසන්සුන් වෙයි. අන් මත ඉවසිය නොහැකි ඔහු සිතන්නේ, සකල ඇමරිකාවම තමන් සිතන පතන ආකාරයට හැසිරිය යුතුය කියා ය. දැඩි සංක්‍රමණික විරෝධියෙකු වන ට්‍රම්ප්, මේ තීන්දුව ඇසීමෙන් වියරු වැටුණු බව කිව හැක. ‘‘terrible, costly and dangerous disgrace,” ඔහු අධිකරණ තීන්දුව ගැන පැවසුවේ එසේ ය. ඇතැම් විචාරකයන් මේ වචන උපුටා දක්වමින් කියා සිටියේ ට්‍රම්ප් අධිකරණය අපහාස කළ බව ය. කෙසේ නමුත් ඔහුට වැදගත් වූයේ නීතියේ ආධිපත්‍යය නොහොත් නීතිය මත පාලනය තුළ ඔහුට ලැබුණු තීන්දුව හෝ මගපෙන්වීම නොවේ. ‘‘මට විරුද්ධව තීන්දුවක් දුන් මේකා කවුද?“ යන්නයි.

කරුණු සොයාබලන විට පෙනී ගියේ, විනිසුරු ජොන් එස්. ටයිගර්, 2012 වසරේදී එවකට ජනපති බරාක් ඔබාමා විසින් පත් කරන ලද විනිසුරුවරයෙක් බව ය!

ඉතින් ඔහු දුම්මල වරම අතට ගත්තේය. ඔහු එම විනිසුරුවරයා ව නිර්දය ලෙස විවේචනය කරමින් කීවේ, මෙබඳු තීන්දුවක් ලබා දෙන්නේ එම විනිසුරුව පත් කළේ බරාක් ඔබාමා විසින් වීම බවයි!

ඇමරිකානු ජනපතිවරයා නීතිය මත පාලනය හෝ බලය බෙදීම ගැන කිසිවක්ම නොදන්නා බව ප්‍රකට කළ තවත් එක් අවස්ථාවකි, මේ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ රාජ්‍යයක් සතු බලය ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ වශයෙන් ත්‍රිවිධාකාර වන බවත්, මේ ආයතන ත්‍රිත්වය එකිනෙකින් ස්වාධීන ව හා වෙන් වෙන්ව පැවතිය යුතු බවටත් වන දේශපාලන විද්‍යාවේ මූලික පාඩම පවා ට්‍රම්ප් නොදන්නා සෙයකි. පුදුම වන්නට දෙයක් නැත. ට්‍රම්ප් වනාහී, ජනාධිපතිවරණයට පෙර, ඔහුගේ කළමනාකරුවෙකු විසින් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියා දෙන්නට උත්සාහ කළ අවස්ථාවේදී ‘‘මට කම්මැලී‘‘ යැයි කියමින් වගන්ති දහයකට වඩා නොකියවූ අයෙකි.

ඉතින් අග විනිසුරු ජෝන් රොබට්ස් ට්‍රම්ප්ට ලබාදුන්නේ ලබාදිය යුතුවම තිබූ පිළිතුරයි.

සිය විධායක බලතල ප්‍රකාරව විනිසුරුවරුන් නම් කිරීම හෝ පත් කිරීම සිදුකරනු ලැබුවද, එම විනිසුරන් රටේ ඉහළම අධිකරණයට තේරී පත් කළ පසුව හැසිරිය යුත්තේ විධායකයට හෝ ව්‍යස්ථාදායකට ගැති වෙමින් හෝ කොඳු නමාගනිමින් නොවේ. අධිකරණ සේවයට පත් කළ පසුව ඔවුහු ඒ රටේ යුක්තියේ භාරකාරයෝ වෙති. එනම්, ‘‘යුක්තියේ විනිසුරෝ‘‘ වෙති.

එහිදී  ඔවුන් හැසිරිය යුත්තේ ස්වාධීන විනිසුරුවරුන් ලෙසිනි. ස්වාධීන විනිසුරන් නොමැති නම් අධිකරණය ස්වාධීන නොවේ. එය ඇමරිකාවේ ජිමී කාටර් ජනපතිවරයා විසින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් බිහි කළ 9th Circuit වැනි අධිකරණවල පටන් අභියාචනාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ දක්වාම පැතිරගෙන යන්නකි. ජිමී කාටර් එදා නයින්ත් සර්කිට් සඳහා විනිසුරුවරුන් 15 දෙනෙක් පත් කළේය. අද වනවිට එම විනිසුරු මණ්ඩලයේ සංඛ්‍යාව හෙවත් විනිශ්චයාසන ගණන ඉහළ ගොස් තිබේ. එහි කාටර්ගේ ඩිමොක්‍රටික් මතවාදයන් දරන්නන් මෙන්ම රිපබ්ලිකන් මතවාදය දරන්නෝ ද වෙති. ඔබාමා සමයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනක් හිස් වූ විට ඔබාමා ඒ සඳහා සුදුස්සෙකු පත් කළ යුතුය. ට්‍රම්ප් ද එසේම ය.

නමුත් එසේ වු පමණින් සහ එසේ පත් කරන පුද්ගලයන්ගේ පුද්ගලික දේශපාලන මතයේ පාට අනුව, ඔවුන් ලබාදෙන තීන්දුවලට ද පාටක් තිබේ යැයි කියන්නට තරම් සැහැසි විය හැක්කේ, නීතියේ ආධිපත්‍යයට ගරු නොකරන රාජ්‍ය නායකයෙකුට පමණකි.

අද ලංකාවට ඓතිහාසික දිනයකි. ජනපතිවරයා විසින් අත්තනෝමතික ලෙස සිය විධායක බලය පාවිච්චි කරමින් ව්‍යවස්ථාදාකය හෙවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සිදුවීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව අද දිනයේ ලබාදෙතැයි අපේක්ෂා කෙරේ. මෙහිදී ඇමරිකානු අගවිනිසුරු විසින් සිදුකළ උක්ත ප්‍රකාශය, දේශපාලන වියවුල නමැති කුණාටු මුහුදේ යාත්‍රා කරන යුක්තියේ නෞකාවට මග පෙන්වන ප්‍රදීපාගාරයක් වැන්න. ප්‍රශ්නයේ බරපතළකම අනුව මුලින් පත්කළ ත්‍රි පුද්ගල විනිසුරු මණ්ඩලය සප්ත පුද්ගල විනිසුරු මණ්ඩලයක් වුවත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නව දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිශ්චයාසනයක් වුවත් අපට කම් නැත.

ව්‍යවස්ථාදායකය සහ විධායකය පැටලී ඇති මේ තෙරක් නොපෙනෙන මහා ආගාධයෙන් ගොඩ එන එකම හිරු කිරණ ලෙස ජනතාව එදත් අදත් විශ්වාස කරන්නේ අධිකරණය සහ නීතිය මත පාලනය ම පමණි. එනිසා පුරවැසියන් වශයෙන් අපට වැදගත් වන්නේ ඔවුන් ‘මහින්දගේ විනිසුරන්‘ හෝ මෛත්‍රිගේ විනිසුරන්‘ නොවී ‘යුක්තියේ විනිසුරන්‘ පමණක්ම වීමයි. මේ මොහොතේ මුළු ලෝකයම ඇස් යොමා බලා සිටින්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය සහ ධීර ගුණය දෙස ය.

– රදිකා ගුණරත්න (LNW)