මඩකලපුව, වව්නතිව් පොලිස් නිලධාරින් දෙදෙනා ඝාතනයේ පරීක්ෂණ CIDයට.
මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට මේ වන විටත් පිටත්ව ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.
මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ මාර්ගබාධක රාජකාරියේ යෙදී සිටි අදාළ කොස්තාපල්වරුන් දෙදෙනාගේ මෘත ශරීර නොවැම්බර් 30 සිකුරාදා උදෑසන 6.00ට පමණ එම මාර්ග බාධකය අසළ තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබුණි. වව්නතිව් පොලීසියට අනුයුක්තව සේවය කළ එම නිළධාරීන් දෙදෙනා වෙඩි වැදී මිය ගොස් ඇති අතර ඔවුන්ගේ රාජකාරි රිවෝල්වරද අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.
මිය ගොස් සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා අතුරින් එක් අයෙකු ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි වල්පිට ගමගේ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නමැති 35 හැවිරිදි අයෙකි. ඔහු කලක් ත්‍රස්ත්‍ර විමර්ශන ඒකකයේ (TID) සේවය කළ අයෙකි. අනෙක් පොලිස් කොස්තාපල්වරයා කල්මුණේ පෙරියනිලාවනේ ප්‍රදේශයේ පදිංචිව සිටි ගනේෂ් දිනේෂ් නමැති 28 හැවිරිදි අයෙකු බව පොලිසිය සදහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මඩකලපුව කොට්ඨාසය බාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.