රටේ මුල් පුරවැසියා වන ජනාධිපතිම රටේ මූලික නීතිය කඩනවා – විජිත හේරත්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය ඔක්තෝබර් 26 වනදා නව අග්‍රාමාත්‍යවරයකු පත් කිරීමේ සිට ඊයේ (09) දිනයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්වා ගනු ලැබූ සියලු ක්‍රියාමාර්ග නීති විරෝධී සහ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද (10) දිනයේ සිය පක්ෂයේ නායකයින් රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කරන්නේ.
ජනාධිපතිවරයාගේ ක්‍රියාව සම්පූර්ණයෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීමක් බව පවසන විජිත හේරත් මහතා මීට පෙර නව අගමැතිවරයකු පත් කිරීම, කැබිනට් මණ්ඩලයක් පත් කිරීම, පාර්ලිමේන්තුව කල් තැබීම වැනි සියලු ක්‍රියාවන් සදාචාරය, සම්ප්රදාය සහ ව්‍යවස්ථාව කඩ කරමින් කරන ලද ඒවා බව පෙන්වා දෙයි. ලංකා ඉතිහාසයේ මෙවැන්නක් සිදුවුණු ප්‍රථම අවස්ථාව මෙය බව පවසන ඒ මහතා රටේ මුල් පුරවැසියා විසින් රටේ මූලික නීතිය කඩකරමින් සිටින බව ද සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී, ඒකාධිපති, උම්මත්තක ක්‍රියාවක් ලෙස තමන් දකින බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.