මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ආණ්ඩුවට තද ලිපියක්
පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්ෂවලට ලිඛිතව දැනුම් දී ඇත. නිලධාරීවාදය යනු ඒකාධිපතිවාදයේ නිවුන් සොහොයුරකු වැනි යයි ද මැතිවරණ කොමිෂන් සභාව එම විශේෂ ලිපියේ සඳහන් කර තිබේ. මෙම විශේෂ ලිපිය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට මෙන්ම ආණ්ඩුවට සහ දේශපාලන පක්ෂවලට යවා තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් සභා වැඩි ප්‍රමාණයක නිල කාලය අහෝසිවී තිබෙන හෙයින් ඒවායේ කටයුතු මහජන නියෝජිතයන්ගෙන් ගිලිහීයාම නිලධාරීවාදයට යටත් වීමකැයිද එය පිළිගත නොහැකි ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවකැයි ද මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ලිපියක් මගින් ආණ්ඩුවට දැනුම් දී ඇත.
මේ අතර උතුරු පළාත් සභාවේ නිල කාලය හෙටින් (24) අවසන් වන අතර මේ වන විට පළාත් සභා 6ක නිල කාලය අවසන් වී ඒවායේ පරිපාලන කටයුතු නිලධාරීන් වෙත පැවරී තිබේ. නිල කාලය අවසන් වී ඇත්තේ නැගෙනහිර, සබරගමුව උතුරු මැද මධ්‍යම වයඹ සහ උතුර යන පළාත් සභාවලය.
බස්නාහිර හා දකුණු පළාත් සභා දෙකේ නිල කාලය 2019 වසරේ අප්‍රේල් මාසයේ දී ඌව පළාත් සභාවේ නිලකාලය එම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ද අවසන් වීමට නියමිතය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ අගමැතිවරයාගේ සීමා නිර්ණ සමාලෝචන කමිටුව මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන හෙයින් එම කමිටුව තවත් සතියක කාලයක් තුළ සමාලෝචන වාර්තාව ලබාදිය යුතුව තිබෙන බවය. එම කාලය නිම වූ පසුව එනම් නොවැම්බර් මස මුල් සතියේ සිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කටයුතු ආරම්භ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බව ද දේශප්‍රිය මහතා කීය.