සැකකරු දඬුගම් ඔයට දමා මහින්දගේ පොලිසිය නැවත වැඩ අරඹයි.
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවකු මාංචු පිටින් ම දඬුගම් ඔයට පැන මියායාමේ පුවතක් පොලීසිය ඊයේ (06) වාර්තා කර තිබිණි. පසුගිය 30 වනදා කඳාන ප්‍රදේශයේදී කළ වෙඩි තැබීමකින් කාන්තාවක් ඝාතනයට ලක්වූ අතර ඒ පිළිබඳව විමර්ශන කටයුතු කළ කැළණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් පසුගිය 05 වනදා රාත්‍රියේ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේදී ඉලන්දාරි දේවගේ සංජීව නොහොත් අමුණුගොඩ සංජීව නමැත්තා අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට පත් සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ පෑලියගොඩ පොලීසිය වෙත රැගෙන ඒමේදී ඊයේ (06) අළුයම 4.00ට පමණ වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ බවත් එහෙයින් ජා ඇල ප්‍රදේශයේදී ඔහුව දඬුගම් ඔය පාලම අසලින් පහළට රැගෙන ගිය බවත් පවසන පොලිසිය එහිදී සැකකරු මාංචු දමා සිටියදී ම පොලිස් නිලධාරියකුට හිසෙන් පහරදී දඬුගම් ඔයට පැන්න බව පවසයි. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔහුව ගොඩගෙන රාගම රෝහලට ඇතුළත් කළ නමුත් ඒවන විටත් ඔහු මියගොස් සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කරන්නේ.
මියගිය සැකකරු ප්‍රධාන පෙළේ අපරාධ කල්ලියක සාමාජිකයකු බව ඒත්තු ගැන්වීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සැකකරුගේ අපරාධ ඉතිහාසයක් ද මාධ්‍ය හමුවේ සඳහන් කිරීමට අමතක කළේ නැත.
පොලිස් අත් අඩංගුවේ පසුවෙද්දී සැකකරුවන් ඝාතනයට ලක්වීමත් පොලීසිය එම ඝාතන සාධාරණීකරණය කිරීම සඳහා කතන්දර ගොත ගොතා කීමත් පසුගිය රාජපක්ෂ පාලන සමයේදී සුලභ දෙයක් විය. කලක් නැවතී තිබුණු මෙම නීච ක්‍රියාව පොලීසිය විසින් නැවත ආරම්භ කර ඇති ආකාරයක් පෙනේ.
ඕනෑම සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වන පුද්ගලයකුට අධිකරණයක් ඉදිරියේ තම නිර්දෝශීභාවය ඔප්පු කිරීමට නීතියෙන් අයිතියක් තිබේ. අපරාධය කොතෙක් දරුණු වුව ද එය පොලීසියට මිනීමැරීම සඳහා බලපත්‍රයක් වන්නේ නැත. පොලීසිය විසින් ම විමර්ශන කර පොලිසිය විසින්ම අත් අඩංගුවට ගෙන පොලිසිය විසින් ම දඬුවම් ද ක්‍රියාත්මක කරන්නේ නම් එවන් රටකට අධිකරණයක් අවශ්‍ය වන්නේ ද නැත. අනෙත් අතට මෙහි ඇති දරුණුම ඛේදවාචකය මෙන්ම භයානකම තත්වය වන්නේ ශ්‍රී ලංකා පොලීසිය ද අන්ත දූෂිත එකක් වීමයි. අහක යන චෝදනාවකට අත අඩංගුවට පත්වී ආයුධ පෙන්වීමට ගොස් හෝ මාංචු පිටින් ගඟකට ඔයකට පැන මරණයට පත්වී ජනමාධ්‍ය ඉදිරියේ බරපතළ පාතාල සාමාජිකයකු ලෙස පොලිසියෙන් බෞතීස්ම ලබන්නට වීමේ අවදානම දැන් යළිත් සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන් ඉදිරියේ තිබේ.
සැකකරුවන් අත් අඩංගුවේදී ඝාතනය කර එකම කතන්දරය පුන පුනා කීමේ විලිලැජ්ජා නැති නරුම ගතිය ශ්‍රී ලංකා පොලීසියට ඉහළින් ම පිහිටා ඇත. 2014 ජුලි 05 වනදා ද පාදුක්ක පොලිසියේ නිලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මෙලෙසින්ම ජා ඇලදී දඬුගම් ඔයට පැන්න බව පොලිසිය ප්‍රකාශ කර තිබිණි. එදා මියගියේ ජංගම දුරකථන හා රෙදිපිළි කිහිපයක් සොරා ගැනීමේ චෝදනාවට ලක් වූවෙකි. වසර හතරකට පසුත් එකම කතාව අසන්නට අපට සිදුව තිබේ.
පොලිස්පතිවරයා පොලිස් නිලධාරීන්ට භාවනා කිරීමට උගන්වනවා මිස රටේ නීතිය සහ පොලිසියේ වගකීම කුමක්ද යන්න ඉගැන්වීමට උත්සාහ ගන්නා බවක්වත් පෙනෙන්නට නැත. රටේ අපරාධ විසඳන්නට පෙර තමන්ගේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු ආරක්ෂා කරගැනීමට නොහැකි පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඔවුන්ට එරෙහිව නීතිය උපරියෙන් ම ක්‍රියාත්මක කළ යුතුව ඇත.
කප්පම් ගැනීම සඳහා මිනී මැරූ වාස් ගුණවර්ධන වැනි ඉහළ පොලිස් නිලධාරීන් බිහිවුණේ නිකම්ම නොවේ. පොලීසියට නිති නින්දේ මිනී මැරීමට එවකට පාලනය විසින් ලබාදී තිබුණු වල් බූරු නිදහස ද ඊට හේතු විය. දේශපාලන බලධාරීන් ද ඒවා මතක තබා ගත යුතුය.
(LNW)
කාටූනය – අවන්ත ආටිගලගේ කාටූනයකි