ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

මහින්ද හා කබ්රාල් ශ්‍රී ලංකන් කොටස් ගන්න අර්ථසාධකයෙන් මිලියන 500ක් නීති විරෝධීව යොදවලා.

රාජපක්ෂ කළු දශකය තුල රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්දයෙන් ඇති චෝදනා අතරට එක්වන අලුත්ම කාරනය වන්නේ සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් මිලියන 500ක් එමිරේට්ස් සමාගම සතුව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් මිලදී ගැනීමට නිතී විරෝධීව යෙදවීමයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත මෙම ගනුදෙනුව සදහා මැදිහත්වී ඇත්තේ එවකට මහබැංකුවේ අධිපති වු අජිත් නිවාඩ් කබ්‍රාල් විසිනි.

එමිරේට්ස් සමාගම සතුව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් මිලදී ගැනීම සඳහා 2010 වසරේදී සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 500ක් සියලුම නීති අණ පනත් උල්ලංඝනය කරමින් යොදවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරී නාලිනී මල්කාන්ති බණ්ඩාර මහත්මිය ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පසුගියදා අනාවරණය කළාය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන සමාගම්වල සිදුවූ දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ පසුගිය 28 වනදාය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නීල් උනම්බුවේ මහතාගේ විමසීම් හමුවේ අනාවරණය වූයේ අදාළ මුදල් යෙදවීම සඳහා ඉදිරිපත් කළ යුතු යෝජනා, නිර්දේශ, තක්සේරු කිසිවක් නොමැතිව මුදල් අනුමත කර ඇති බවයි. ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරීවරයකු වූ බී. ඒ. ලයනල් මහතාගේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ අභිමතය පරිදි මෙම ගනුදෙනුව සිදුව ඇති බවත් එවකට මහ බැංකු අධිපතිවරයා වූයේ අජිත් නිවාඩ් කබ්‍රාල් බවත් සාක්ෂිකාරිය කොමිසම හමුවේ ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යෙදවීමට කැබිනට් මණ්ඩලයේ හෝ මහා භාණ්ඩාගාරයේ අනුමැතියක් ලැබී නොතිබුණු බව ද නාලිනී මල්කාන්ති මහත්මිය කොමිසම හමුවේ ප්‍රකාශ කළාය.

එමිරේට්ස් සමාගම සතු කොටස් මිලදී ගැනීම සඳහා 2010 මැයි 04 වනදා එවකට මුදල් අමාත්‍ය හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු බවත් එහි සඳහන්ව තිබුණේ ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් එම කොටස් මිලදී ගත යුතු බවත් යැයි පැවසූ ඒ මහත්මිය සේවක අර්ථසාධක අරමුදලින් කොටස් මිලදී ගැනීමක් සම්බන්ධව එහි සඳහන්ව නොතිබූ බවත් ප්‍රකාශ කළාය. එහෙත් 2010 ජුලි 06 වනදා ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී බී. ඒ. ලයනල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුදල් කළමනාකාර කමිටුවට ලිඛිතව දැනුම් දී ඇත්තේ අදාළ කොටස් මිලදී ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් මිලියන 500ක් ලංකා බැංකුවේ ආයතනික ශාඛාවේ ජංගම ගිණුමට බැර කරන ලෙස බවත් ඒ අනුව ගනුදෙනුව සිදුවී ඇති බවත් පැවසූ ඒ මහත්මිය පෙන්වා දුන්නේ ගිවිසුමක් හෝ නීත්‍යානුකූල සාක්ෂි නොමැතිව මෙම මුදල් යෙදවීම සිදුව ඇති බව ඊට අදාළ ලේඛන නොමැතිකමින් පෙනී යන බවයි.