මහින්දගේ ‘පවුල්වාදයට’ වෙල්ගමගෙන් කණේ පාරක්..! රාජපක්ෂලා හැර ජ්‍යේෂ්ඨයින් පක්ෂයේ නැද්ද?
ඉදිරි ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂට වයස ප්‍රශ්ණයක් ඇති නිසා තමන්ගේ සහෝදරයකු ඉදිරිපත් කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවේදී කළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සිය දැඩි විරෝධය ප්‍රකාශය කර තිබේ. “නෙත් එෆ්. එම්.” සේවය වෙත ඊයේ (13) අදහස් පළ කරමින් ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ පවුල්වාදය රටට නොගැලපෙන්නක් බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය තමන් තරයේ හෙළාදකින බවත් ය.
“මේ පවුල්වාදය නිසා තමයි හිටපු ජනාධිපතිතුමා ගියපාර පැරදුනේ. මොකද පවුලේ සාමාජිකයින්ට තමයි මුල් තැන දීලා තිබුණේ. ඒකට ඇමතිවරු සියල්ලක්ම තරහා වුණා. සිරිසේන මහත්තයා ගියේ එතුමාට හිමි තැන දුන්නේ නැති නිසා. එතකොට තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ සූදානම් වෙන්නේ.” යනුවෙන් මෙහිදී වෙල්ගම මහතා ප්‍රශ්ණ කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමට සිදුවූයේ ද පවුල්වාදය නිසා බව වෙල්ගම මහතා පෙන්වා දෙයි. ඔහු එකල පවුලේ සාමාජිකයින්ට එක් ආකාරයකටත් අනෙත් අයට තවත් ආකාරයකටත් සැලකූ බවත් ඒ නිසා සියලුම ඇමතිවරුන් තරහ වුණු බවත් පවසන ඒ මහතා ඇමතිවරුන් මහින්ද රාජපක්ෂට විරුද්ධව වැඩ කළ බව පවසයි. කෙළින් වැඩ කළ ඇමතිවරුන් පවා ඒ මොහොතේදී වක්‍රව මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය වෙනුවන් වැඩ කළ බවයි වෙල්ගම මහතා පෙන්වා දෙන්නේ.
පක්ෂයක් යනු කාටත් අයිති දෙයක් බවත් එය පවුලකට පමණක් සීමා කළ නොහැකි බවත් පවසන වෙල්ගම මහතා රාජපක්ෂ පවුලේ නොවන ජ්‍යේෂ්ඨයින් රැසක් සිටින බවත් ඔවුන්ට ද අවස්ථාව හිමි විය යුතු බව අවධාරණය කරයි.
එසේම, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කැමැත්තෙන් ප්‍රේමදාස මහතා අපේක්ෂකත්වය නොගත් බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මහින්ද මහතාට කැමැත්තෙන් අපේක්ෂකත්වය නොදුන් බවත් මහින්ද රාජපක්ෂ මහතා මහතක තබා ගත යුතු බව ප්‍රකාශ කරන වෙල්ගම මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂය කඩාගෙන ගොස් ජනපති වූයේ එතුමාට හිමි තැන නොදුන් නිසා බවත් සිහිපත් කරයි. ඔහු තරයේ ප්‍රශ්න කර සිටින්නේ “තවත් සිරිසේන කෙනෙක් හදන්නද මේ යන්නේ ?” යනුවෙනි.
මීටපෙර ද ඒකාබද්ධ විපක්ෂයේ යම් යම් පිරිස් විසින් ගෝටාබය රාජපක්ෂ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ප්‍රකාශ කළ අවස්ථාවලදී කුමාර වෙල්ගම මහතා ඊට සිය දැඩි විරෝධය ප්‍රසිද්ධියේ ම පළ කළේය.