ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලසන්ත ඝාතනයට පෙර, අත්අඩංගුවට ගන්නැයි ගෝඨා නියෝග කරලා.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට පෙර ඔහුව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබූ බව ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව රාවය පුවත්පත වාර්තා කරයි. එවකට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව සිටි නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩින් මහතා, ලසන්ත ඝාතන සිදුවීම පිළිබඳව රහස් පොලිස් කණ්ඩායම ඉදිරියේ මෙම තොරතුරු හෙළිකර තිබේ. පසුගිය ජුනි 11 වැනිදා සිසිර මෙන්ඩිස් මහතා අදාල ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදුන් අතර එහිදී ලසන්ත වික්‍රමතුංග අත්අඩංගුවට ගැනීමේ උත්සාහය පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
ලසන්ත ඝාතනය කළ 2009 වසරේ ජනවාරි මාසයට පෙර එනම් පෙර වර්ෂයේ දෙසැම්බර් මාසයේ 25 වැනිදා නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා තමන්ව අමතා ලසන්ත වික්‍රමතුංග අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දුන් බවයි සිසිර මෙන්ඩිස් රහස් පොලීසියට ප්‍රකාශ කර තිබෙන්නේ. ලසන්ත වික්‍රමතුංග මහතා විසින් අරලියගහ මන්දිරයේ ඉදිකර ඇති රහසිගත භූගත බංකරයක් සම්බන්ධයෙන් සන්ඩේ ලීඩර් පුවත්පතේ තොරතුරු පළකිරීම මෙම අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුවයි.
ගෝඨාගේ ඕඩරයක්
කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්ව නොමැති බැවින් සිසිර මෙන්ඩිස් මහතා තම ජ්‍යෙෂ්ඨ නිළධාරියාගේ නියෝගය එතරම් ගණන් ගෙන නොමැත. ඉන්පසු දෙසැම්බර් 26,27,28 යන දිනවලද අශෝක විජේතිලක මහතා දුරකතනයෙන් දැනුම් දී ඇත්තේ ලසන්ත වික්‍රමතුංග කෙසේ හෝ අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඔහුට එරෙහිව පැමිණිල්ලක් හෝ නොමැතිව අත්අඩංගුවට ගන්නේ කෙසේද යන්න සිසිර මෙන්ඩිස් මහතා විමසා ඇති අතර ඊට පිළිතුරු ලෙස අශෝක විජේතිලක මහතා පවසා ඇත්තේ මෙය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් බවයි. ඒ නිසා පැමිණිල්ලක් අනවශ්‍ය නොවන බව පවසමින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකර තිබේ.
ඒ අනුව තමා ලසන්ත වික්‍රමතුංග අත්අඩංගුවට ගැනීමට ගිය බවත් ලසන්ත වික්‍රමතුංග අත්අඩංගුවට පත්වීමට සූදානම් වූ බවත් සිසිර මෙන්ඩිස් මහතා රහස් පොලිස් නිළධාරීන් ඉදිරියේ පවසා ඇත. කෙසේ වෙතත් ඒ අවස්ථාවේදී තමන් ඇමතූ අශෝක විජේතිලක මහතා, ලසන්තව අත්අඩංගුවට නොගෙන ආපසු හැරී එන ලෙස දුන් දැනුම්දීමට අනුව තමන් නැවතත් පැමිණි බව ද ඔහු හෙළිදරව් කර ඇත.
ලසන්ත කියන්නෙ කවුද ?
ලසන්ත ඝාතනයෙන් වසර කිහිපයකට පසුව අදාල සිදුවීම පිළිබඳ මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙරළා මාධ්‍යවේදියාගෙන් විමසා සිටියේ ‘ලසන්ත කියන්කේ කවුදැ’යි කියාය. ලසන්ත මහමග වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසුව ඔහු පිළිබඳව ගෝඨාභයලාට අමතක වුවද රටට අමතක වී නොමැත.
අද නීතියේ, අධිකරණයේ ස්වාධීනත්වය, පොලීසියේ ස්වාධීනත්වය පිළිබඳ, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශන පවත්වන ගෝඨාභයලා එදා නීතිය, පොලීසිය තමන්ට අවශ්‍ය පරිදි භාවිතා කළේ මෙසේය. අද තමන්ව අත්අඩංගුවට පත්වීම වැලැක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන ගෝඨාභයලා එදා රාජපක්ෂලාට එරෙහිව යන ඕනෑම පුද්ගලයෙකු පැමිණිල්ලක් නොමැතිව පවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ එලෙසයි.
ලසන්ත වික්‍රමතුංග මහතා සිය පුවත්පතෙන් හෙළිකළ පරිදි අරලියගහ මන්දිරය තුළ රහසිගත, සුඛෝපභෝගී භූගත බංකරයක් ඉදිකර ඇති බව මීට ඉහතදී මාධ්‍ය විසින් වාර්තා කළ අතර එම බංකරයේ ඡායාරූප පවා නිකුත් විය. මහජන මුදල් වියදම් කරමින් පාලකයන් සිදුකරන එවැනි ඉදිරිකිරීම පිළිබඳ රටට හෙළි කිරීම මාධ්‍යවේදීන්ගේ කාර්යභාරයයි. එහෙත් නීතිය වල්වැදී තිබූ පසුගිය රාජපක්ෂ යුගයේදී එය පුද්ගලයෙකුට සිය ජීවිතය අහිමි කරගැනීමට තරම් බරපතල වැරැද්දකි.
අද තමන්ගේ දෑත් පිරිසිදු බව පුනපුනා කියන රාජපක්ෂලාගේ, ලසන්ත ඝාතනයට ඇති සම්බන්ධය ඔප්ප කිරීමට මෙය ප්‍රබල සාක්ෂියකි. මේ වනවිට ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන්, ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඔහුගේ දියණියගෙන් ද රහස් පොලිස් නිළධාරීන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර ඉදිරියේදී එම ඝාතන පරීක්ෂණ කඩිනමින් සිදුවනු ඇත.
(LNW)