ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තමාගේ මෝටර් රථයට වෙඩිතබාගත් සයිටම් විධායක අධ්‍යක්‍ෂ ඇතුළු සැක 4 දෙනා ජූලි 12 තෙක් රිමාන්ඩ්

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයාව සිටි වෛද්‍ය සමීර සේනාරත්න මහතාට ජීවිත තර්ජන ඇතැයි ඒත්තු ගැන්වීම සඳහා ඔහුගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින එම වෛද්‍යවරයා ඇතුළු සැකකරුවන් හතර දෙනා වැලිකඩ බන්ධනාගාරය මඟින් ඊයේ (28දා) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයක් මඟින් කරනු ලැබූ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා සියලුම සැකකරුවන් ලබන ජූලි 12 දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළේය.

විනිසුරුවරයා එම නියෝගය කළේ සිද්ධියට අදාළව විමර්ශන අවසන් නොමැති බවත්, සාක්‍ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි අතර, තවත් සැකකරුවකු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරගෙන යන බවත් අධිකරණයට දැන්වීමෙන් පසුවය.

සුබසිංහ පතිරගේ සුමිත් නිරෝෂණ හෙවත් ටීනා, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු රියැදුරකු වන සිසිර උදය කුමාර, කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි අරුණ ලක්මාල් විලත්ගමුව හා වෛද්‍ය සමීර සේනාරත්න යන සැකකරුවන්ට එරෙහිව මෙම පැමිණිල්ල විභාගයට ගැනේ.

ඉකුත් 2017 පෙබරවාරි 06 සවස වෛද්‍ය සමීර සේනාරත්න යන අය මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිට චන්ද්‍රිකා කුමාරතුංග මාවත හරහා ආපසු යමින් සිටියදී ඔහුගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවට මුල්ලේරියාව පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව පොලිසිය එම නඩුව ගොනුකර තිබිණි.

ඒ එවකට සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහි ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරයට අදාළව වෛද්‍ය සමීර සේනාරත්න මහතාට ජීවිත තර්ජන ඇතැයි හුවාදැක්වීම සැලසුම් සහගතව සිදුකළ ව්‍යාජ කුමන්ත්‍රණකාරී රංගනයක් බවට සැකකරන බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.