ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

හිටපු අගවිනිසුරුගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය කුණු කූඩයට දමයි.

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) නියම කළේය. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා තම පෙත්සමෙන් සඳහන් කර තිබුනේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත  ජනමත විචාරණයකට යොමු නොකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැන බවයි.

පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් අදාළ පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති නිසා එය අධිකරණ හමුවේ ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කළේය. කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුව මෙම  පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලදී.

එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බලනු ලැබීය.

එහි තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීරණය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවයි.