ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-02Slider

ගොවීන් පාරට බැස්සූ පනස් දෙනෙක් බන්ධනාගාරයට දැමූ රාජාංගණයේ ජල ගින්න ඇවිළුණු හැටි

ජලයෙන් උපදින ගින්න මොන තරම් ගැඹුරු වේදනාවක් උපදවන්නේ දැයි යළිත් වරක් පසක් වෙමින් තිබිණි. රාජාංගණය හන්දිය ගිනියම්ය. පාපැදියකටවත් ගමන් කළ හැකි නොවන සේ පාදෙණිය-අනුරාධපුර මාර්ගය මහා ජනපවුරකින් අවහිර කර ඇත. තඹුත්තේගම පොලිසිය තෙක් ඒ ජන සන්නිපාතය ගලා ගොස් තිබුණේය. ඉන් දැවැන්ත පිරිසක් තඹුත්තේගම පොලිසියත් වටකොටය. පෙබරවාරි 28දා රාජාංගණය හන්දියේ කියැවෙමින් තිබුණේ බලාපොරොත්තු බිඳී ගිය අපේ පන්තියේ මනුෂ්‍යයන්ගේ අවසාන ප්‍රකාශනයය.

ජල ප්‍රශ්නය
විරෝධතාව උපදින්නේ රාජාංගණය වැවේ ජලය යොදාගෙන ක්‍රියාත්මක කිරීමට යන නව පානීය ජල ව්‍යාපෘතියකට එරෙහිවය. අනුරාධපුර දිසා ලේකම් ආර්. එම්. වන්නිනායකට අනුව අදාළ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප්‍රදේශය, තඹුත්තේගම නගරය සහ එප්පාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බල ප්‍රදේශයෙන් කොටසකට පානීය ජලය සැපයීම සඳහාය. එම ව්‍යාපෘතියෙන් තඹුත්තේගම, එප්පාවල, නොච්චියාගම, ගල්නෑව ඇතුළු රාජාංගණය වැව අවට ප්‍රධාන නගර රැසක් ආවරණය කිරීමට නියමිත විය.

එහෙත් මේ වනවිට නිර්මාණය වීමට යන ජල ගැටුම හරහා අවස්ථාවාදී දේශපාලන කුප්පකම එළිදැක තිබුණේය. එක දිගට වෙබ්අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලා මඟින් ප්‍රකාශිත වූයේ රාජාංගණ වැවේ ජලය ජල බෝතල් නිෂ්පාදනය කරන චීන සමාගමකට විකුණන්නට යන බවය. මේ කතාව ළැව් ගින්නක් සේ පැතිර ගියේය. අවිචාරවත් මිනිස්සු රාජාංගණය වැවේ වතුරට සිදුවන ව්‍යසනය අසමින් ඇඟේ ලේ කුපිත කරගත්හ.

ව්‍යාපෘතියේ සැබෑ ව්‍යසනය
රාජාංගණය යාය 01 සිට යාය 18 තෙක් ජීවත්වන මිනිසුන්ගේ එකම ජීවිත බලාපොරොත්තුව රාජාංගණය වැවේ දියවරය. මහපොළොව හා ගැටෙමින් දහදියකඳුළු වගුරුවා තමන්ගේ හීන අස්වද්දන ජීවිතය දිය කර හරින මේ මනුෂ්‍යයන් මේ වනවිට ගත කරමින් හිටියේ බිඳවැටුණු අපේක්ෂාවන්ගෙනි. පුරා කන්න තුනක වගාවක් නැත. රාජාංගණය වැවේ දියවර නොතිබිණි. කොහේදෝ යන පානීය ජල ව්‍යාපෘතියක් මේ මිනිසුන්ගේ හිස මත ඇදවැටෙන්නේ වැවේ වතුර ටික නැති වනවිට නියමවන ඉරණම අත්දකිමින් සිටියදීය.

රාජාංගණයේ ඉතිහාසය ලියැවෙන්නේ සිංහලය ශිෂ්ටාචාරවත් ජාතියක් ලෙස නිර්මාණය කළ අභිමානයත් සමඟය. කලාඔය බැඳ මහා වාපිය නම් වූ රාජාංගණය වැව කරන්නටත් පෙර සිංහලයේ විශිෂ්ට තාක්ෂණික ඥානය ප්‍රකාශ වූයේ කලාඔය නිම්නයෙන්ය. රාජාංගණය වැව නිර්මාණය වන්නේ ක්‍රිස්තු වර්ෂ 1 වැනි සියවසේදීය. මේ මහා වාපිය නිර්මාණය කරන්නේ වසභ රජුය. මේ ආශ්චර්යවත් නිර්මාණය ඉදිකර ප්‍රාර්ථනා කළේ රට අස්වැද්දීමය. මේ වනවිටත් ජීවමාන ඒ මහා වාපියේ ධාරිතාව අක්කර අඩි 81,000ක්ය. එම දියවර අක්කර 19,500ක් සඳහා වී වගාවට අවශ්‍ය ජලය සපයන්නේය. රාජාංගණය ව්‍යාපෘතිය තවමත් මේ රටේ මහා වාරි ව්‍යාපෘතියන්ගෙන් එකක්ය. දෙවැනි වන්නේ පදවිය ගොවි ජනපද ව්‍යාපෘතියට පමණය.

මූලික අර්ථයෙන්ම වැව් නිර්මාණය වන්නේ ජලය තැන්පත් කොට ගොවීන්ට වගාව සඳහා සැපයීමටය. ඒ පදනම ම විනාශ කරන රාජාංගණය පානීය ජල ව්‍යාපෘතිය තමන්ට නිශ්චිත දැනුම් දීමකින් තොරව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගොවි ජනතාව අතර විරෝධයක් තිබිණි.

වාර්තා වන ආකාරයට යෝජිත පානීය ජල ව්‍යාපෘතිය සඳහා එක දවසකට වැය කිරීමට නියමිත ජල අක්කර අඩි ප්‍රමාණය පනහකි. ගණනය කළහොත් මසකට ඒ සඳහා වෙන්කරන ජල අක්කර අඩි ප්‍රමාණය 1500කි. ඒ අනුව මාස හයක එක කන්නයක් තුළ මෙම ව්‍යාපෘතිය සඳහා වැවෙන් මුදාහරින ජලය ප්‍රමාණය අක්කර අඩි 9000කි. එය නිමා වන්නේ කුඹුරු අක්කර 2000ක් අස්වැද්දීමට අවශ්‍ය ජලය නැතිකර දමමිනි. මෙවැනි ව්‍යාපෘතියක අත්දැකීම ගොවීන්ට තිබේ. ඒ අනුරාධපුර නුවර වැව මුල්කරගනිමින් ක්‍රියාත්මක පානීය ජල යෝජනා ක්‍රමයය. මේ පානීය ජල යෝජනා ක්‍රමය නිසා ගොවිබිම් අක්කර ගණනක් පුරන් වුණේය. රාජාංගණයේ මිනිස්සු නැඟීසිටියේ තමන්ටත් නොදන්වා තම ජීවිත කොල්ලකෑමට දියත් වූ එම ව්‍යාපෘතියකට එරෙහිවය.

උද්ඝෝෂණයේ ආරම්භය
උද්ඝෝෂණය ආරම්භ වන්නේ පසුගිය 28දා උදෑසන 10ට පමණ අනුරාධපුර – පාදෙණිය මාර්ගය කලාඔය පාලම අසලින් අවහිර කරමින්ය. රාජාංගණය ගොවි ජනපදයේ ගොවි, ගෙවිලියෝ තුන්දහසකට අධික පිරිසක් මහමඟට බැසය. පැයක පමණ කාලයක් එම ස්ථානයේ කළ උද්ඝෝෂණයෙන් අනතුරුව උද්ඝෝෂකයෝ විරෝධතා පා ගමනින් රාජාංගණය හන්දිය තෙක් ගමන් කළහ. අනතුරුව රාජාංගණය හන්දිය මුළුමනින්ම අහුරා දැමූහ.

මේ වනවිට පොලිසිය සිටියේ බලවත් අර්බුදයකය. විකල්ප මාර්ගවලින් වාහන ගමනාගමනය සඳහා ඉඩ සලසන අතරම උද්ඝෝෂකයන් සමඟ සාකච්ඡා කර මාර්ගය නිදහස් කරදීම සඳහා ඔවුන් බලවත් උත්සාහයක නිරතවනු පෙනිණි. ප්‍රකාශ වෙමින් තිබුණේ මිනිසුන් අතරින් මතුවූ විරෝධතාවකි. දැවැන්ත විරෝධතාවකි. එහෙත් විරෝධතාකරුවන් හමුවට එක් වගකිවයුතු නිලධාරියකුවත් පැමිණ සිටියේ නැත. එවන් පසුබිමකදී ප්‍රධාන විරෝධය එල්ල වූයේ උද්ඝෝෂකයන් ඉවත් කර මාර්ග අවහිරතා නැති කිරීමට උත්සාහ කළ පොලිසිය වෙතය. මේ වනවිට තඹුත්තේගම අවට සෑම පොලිස් ස්ථානයකින්ම පොලිසිය රාජාංගණය හන්දියට කැඳවා තිබිණි. පොලිස් රැකවල් දැඩි කිරීමෙන් අනතුරුව අනුරාධපුර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ හා තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් රේණුකා වංසේකර උද්ඝෝෂකයන් ඉදිරියට පැමිණියාය. ප්‍රාදේශීය ලේකම්වරිය උද්ඝෝෂකයන් ඇමතීය. ඔවුන් අතරින් පස් දෙනකුට අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා හා සාකච්ඡාවකට අවස්ථාව ලබාදිය හැකි බව ඇය කීවාය. අනතුරුව ගොවි සංවිධාන නිලධාරීන් පස් දෙනෙක් දිස්ත්‍රික් ලේකම්වරයා හමුවීමට අනුරාධපුරයට පිටත් වූහ.
ගැටුමේ ආරම්භය

සිය නියෝජිතයන් පිළිතුරු ලබාගෙන එනතුරු විරෝධතාකරුවෝ විරෝධතාව අත් නොහළහ. පොලිසිය සිද්ධියට මැදිහත් වන්නේ ඒ අවස්ථාවේය. විරෝධතාකරුවෝ ප්‍රධාන මාර්ගයේ ගමන් කළ වාහන නතර කළහ. පොලිසිය ඒ තත්ත්වය වැළැක්වීමට ඉදිරිපත්විය. තත්ත්වය එන්න එන්නම උණුසුම් වූයේය. තත්ත්වය පාලනය කළ නොහැකි තැනට වැටිණි. ඒ සමඟ පොලිසිය ජල ප්‍රහාර හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.

වියරු වැටුණු විරෝධතාකරුවෝ පොලිස් නිලධාරීන්ට පහර පිට පහර එල්ල කරන්නට වූහ. ජල ප්‍රහාරක රථවලට එක දිගට ගල් ප්‍රහාර එල්ල විය. හුදකලා වූ පොලිස් නිලධාරීන්ට පසු පස පන්න පන්නා පහර දෙන්නට තරම් උද්ඝෝෂකයෝ ප්‍රචණ්ඩව හුන්හ. පොලිසිය බිහිසුණු බැටන් ප්‍රහාරයක් ආරම්භ කළේය. ප්‍රචණ්ඩව හැසිරුණු පිරිස් පොලිස් අත්අඩංගුවට පත්විය.

ගැටුම පැයකට ආසන්න කාලයක් පැවතිණි. එකම සැනසීම ගොඩනැඟුණු විරෝධය ජීවිත හානියකින් තොරව නිමාවීමය. පොලිස් ප්‍රහාරවලින් විරෝධතාකරුවෝ පස් දෙනෙක් තුවාල ලැබූහ. පොලිස් නිලධාරීන් සිවු දෙනකු විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලදහ.
ගොවි සංවිධානයේ සභාපති අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩකරමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියමින් උද්ඝෝෂණය පාලනය කළ මොහොතේම උද්ඝෝෂකයන් 59 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්විය. ඉන් 50 දෙනකු 28දා සිට හෙට (05දා) තෙක් රක්ෂිත බන්ධනාගාරයේය. සානුකම්පිත හේතු ඉදිරිපත් කළ 09 දෙනෙක් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් කේ. ආර්. ඒ. නදීශානි නියෝග කළාය.

ගොවි උද්ඝෝෂණයට නායකත්වය ලබාදුන්නේ ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් හා රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චිය. නිහාල් වන්නිආරච්චි පසුගිය බ්‍රහස්පතින්දා (01දා) සවස 3.00ට පමණ රාජාංගණය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූවේය. කැමරා දර්ශන නිරීක්‍ෂණය කර තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියන්නේය.

ඇමැති කියන කතාව
සිද්ධිය වූ වහාම බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් ලබා දෙන වාරිකර්මාන්ත අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා කියා තිබුණේ මෙවැනි කතාවකි.
“රාජාංගණය වැවේ ජලය පානීය අරමුණු සඳහා සැපයීමට අවසර දීම මම ඇමැති පදවිය භාර ගැනීමට පෙර සිදුවූ දෙයක්. නමුත් ඒ ගැන මට වාර්තා වූ වහාම මම නියෝග කළා ගොවිතැනට ජලය මදි වේ නම් වෙනත් කරුණුවලට ජලය සැපයීම නොකළ යුතුයි කියල. මොකද? වැව් හැදීමේ පළමු අරමුණ ගොවිතැනට ජලය සැපයීම. ඒත් දැන් බලශක්ති සැපයුමටත් පානීය ජලය සඳහාත් වැව් ජලය සපයනවා. ඒත් අපි ප්‍රමුඛතාව දිය යුත්තේ ගොවියාට ජලය සැපයීමටයි. වාරිමාර්ග ඇමැතිවරයා වශයෙන් මගේ පිළිවෙත එයයි.

රාජාංගණයේ වැවේ ජලය ගොවිතැනට හිඟවීමේ තත්ත්වයක් ඇත්නම් යෝජිත ජල ව්‍යාපෘතිය නතර කරන ලෙසත් ඒ ගැන විද්‍යාත්මකව කරුණු සොයා බලා කටයුතු කරන ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයාට මා දැනුම් දුන්නා. මා රාජාංගණය ජලාශය අසලට ගිය අවස්ථාවේ ගොවීන් මට මේ ප්‍රශ්නය ගැන දැනුම් දුන් අවස්ථාවේදීමයි මා ලේකම්වරයාට ගතයුතු ක්‍රියාමාර්ගය ගැන දැනුම් දුන්නේ.”

අමාත්‍යවරයාට අනුව නෙළාගෙන ඇත්තේ අමාත්‍යවරයාගේ නියෝගවලටත් පිටින් ගොස් කළ ව්‍යාපෘතියක ඵලය. එහි වගකීම අමාත්‍යාංශ ලේකම්වරයාටය. එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පරිපාලන වගකීම සහිත අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක ‘මව්බිම’ට කියා සිටියේ දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස තමන් වෙත ඇමැතිවරයාගෙන් හෝ වෙනත් කිසිම වගකිවයුතු නිලධාරියකුගෙන් එවැනි උපදෙසක් ලැබුණේ නැති බවය. දිසා ලේකම්වරයාට අනුව මෙම උද්ඝෝෂණය ඇතිවන්නේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ ගොවීන් සමඟ සංවාදයක් ඇති කර ගනිමින් සිටින අවස්ථාවකය. කෙසේ වෙතත් මේ වන විට පානීය ජල ව්‍යාපෘතියේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ. මේ පිළිබඳ ගොවීන් සමඟ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

කෙසේ වෙතත් මේ රට තේරුම්ගත යුතු යථාර්ථයක් තිබේ. මේ ඇවිළී ගියේ එක් මොහොතකින් මතුවූ ආවේගයක් නොවේ. කලක් තිස්සේ කැකෑරෙමින් පැවැති අපේක්ෂා භංගත්වයේත්, නොසලකා හැරීමේත්, රැවටීමෙත් වේදනාවය. නිශ්චිත ප්‍රතිපත්තියක පිහිටා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් පොහොර ටික නියමිත වෙලාවට ලබාදිය නොහැකි වූ ආණ්ඩුවට එරෙහි කලකිරීම නියඟයේ පීඩාව සමඟ තීව්‍ර වී තිබිණි. මේ එළියට බැස සිටියේ පිට පිට කන්න තුනක් වගා කිරීමට නොහැකිව ජල හිඟයකට මුහුණ දුන් මිනිසුන්ය. පානීය ජල ව්‍යාපෘතියක් සඳහා මුදා හැරීමට සැලසුම් කර තිබුණේ ඔවුන්ගේ දියවරය. උද්ඝෝෂණය පිළිබඳ දේශපාලන හෝ වෙනත් ඕනෑම ශාස්ත්‍රීය විග්‍රහයකට පෙර මේ මිනිසුන් ගතකරමින් සිටි අවිනිශ්චිත ජීවිතවල වේදනාව ඇසිය යුතුය.

එසේ නොවන්නේ නම් විටෙක රතුපස්වලදී ඇවිළී රාජපක්ෂ ආණ්ඩුවේ අශික්ෂිත උඩඟුකම දවා මහපාරට දැමූ ගින්නම රාජාංගණයෙන් මතුවී යහපාලනයේ චිතකය නිර්මාණය කරන තෙක් පාලකයන්ට බලා සිටින්නට සිදුවන්නේය.

එප්පාවල – කුමාර දිසානායක
රාජාංගණය – කේ. එම්. චන්දික