වඩා වැදගත්වන්නේ අනාගත සුරක්ෂිතභාවය මිස කෙස් පැළෙන නීති තර්ක සහ වචන හරඹ නොවෙයි – ආචාර්ය දීපිකා උඩුගම

2015 ජනාධිපතිවරණයේදී තමන් පොදු අපේක්ෂකයාට ඡන්දය දුන්නේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා බවත්, ඒ බව මාර්තු 12 ව්‍යාපාරයේ එකගතාවලද සඳහන් වන බවත්, ‘ජනවාරි 8’ දේශපාලන වෙනස සඳහා ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තුවද එයම වූ බවත් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම පවසයි. එසේ තිබියදී යමෙක් නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් ලැබී නැතැයි කියන්නේ නම් නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කොට එය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමෙන් ද ජනවරමක් ඇති නැති බව පිළිබඳ පැහැදිලි නිගමනයකට ඒමට හැකියාව ඇති බවද ඇය පෙන්වා දෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ හිටපු ආශාධිපතිනියද වන ආචාර්ය දීපිකා උඩුගම මේ බව පැවසුයේ ‘ජනවාරි 8’ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡවකට එක්වෙමිනි. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සඳහා දැරෙන ප‍්‍රයත්නයට සහ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ ඇතුළත් අධිකරණමය යෝජනාවන්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන නීති තර්ක පිළිබඳ පැහැදිලි කරගැනීම සඳහා පවත්වන ලද එම සම්මුඛ සාකච්ඡවේදී අප විසින් මතු කරන ලද ප‍්‍රශ්න සහ ඒවාට ලැබුණු පිළිතුරු පහත දැක්වේ.
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සඳහා වත්මන් ආණ්ඩුවට ජනවරමක් නොමැති බවට වන නීති තර්කයක් ඇතැම් නීතිඥයන් විසින් මතු කරනු ලැබ තිබෙනවා. ඒ නිසා දැනට ඒ සඳහා දැරෙන ප‍්‍රයත්නය නීති විරෝධී එකක් බවයි ඒ අය කියන්නේ. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද ?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අලූතෙන් සම්මත කරගන්න ජනවරමක් ලැබිලා තියනවාද ? ජනවරම ලැබී තිබෙන්නේ පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පමණයි නේද? මැතිවරණ ප‍්‍රකාශනයේ නිශ්චිතවම දක්වා තිබෙන්නේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනවලට යන බව නොවේද ? මේ ආදී වශයෙන් මතු කරන කාරණා තාක්ෂණික කරුණුයි. මේ කාරණා ගැන අදහස් දැක්වීම්වලදී හුගාක් වෙලාවට අපි මේක දිහා බලන්නේ ව්‍යුහාත්මක පැත්තෙන්. නීති තර්ක විතර්ක දාලා, තාක්ෂණික පරස්පරතා දාලා තමයි අපි මේවා විග‍්‍රහ කරන්න බලන්නේ. නමුත් රටක් හැටියට කොහොමද අපි ගොඩනගන්නේ කියන එක අපි කල්පනා කරන්නේ නැහැ. ව්‍යවස්ථාව පිළිබඳ කාරණයේදී අපි ඒ ගැන මූලිකවම කල්පනා කළ යුතු වෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වැනි රටේ අනාගතයට අතිශයින් බලපාන විෂයක් පිළිබඳ කාරණාවලදී අපි බැලිය යුත්තේ රටක් වශයෙන් අපි ඉදිරියට යන්නේ කෙසේද කියන කාරණය මුල් කරගෙන මිස මෙවැනි තාක්ෂණික කාරණා මුල් කොට ගෙන නොවෙයි. ඇයි එවැනි ඉදිරි දැක්මක් අපිට නැත්තේ ? ඒක තමයි මට තියන ප‍්‍රශ්නය.

නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය නිසා, ඒ නීතිය සකස්වන්නේත් නීති විරෝධී ආකාරයෙන් නම් එතැන ප‍්‍රශ්නයක් මතුවෙනවා නේද?

නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් නැහැ කියන්නේ කොහොමද? මම ජනාධිපතිවරණයේදී මගේ ඡන්දය දුන්නේ නව ව්‍යවස්ථාවක් ගේන්න. ඊළගට ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වුණා. එය නොතිබුණ නිසා එය ලබාගැනීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණා. ඒකෙදි මම ඡන්දය දුන්නෙත් නව ව්‍යවස්ථාවක් ගේන්නයි. පසුගිය මැතිවරණවලදී ජනතාව ඡන්දය පාවිච්චි කළේ ඒ විදිහට. ඒ මැතිවරණ දෙකේදිම ජනවරමක් ඉල්ලූවේ රටේ නව ශිෂ්ඨසම්පන්න දේශපාලනයක් ගොඩනැගීමට. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළුව ඊට අදාළ කාරණා රාශියක් එහිදී ඉදිරිපත් කෙරුණා. ඉතිං ඒකට තමයි ජනවරම ලැබුණේ. නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම කියන්නේ ඒ සඳහා වන එක් පියවරක්. එහෙම නැත්නම් අපි වගේ ඡුන්දදායකයන් මොකටද ඡන්දය දුන්නේ ? ‘මාර්තු 12 ව්‍යාපාරය’ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට ඉදිරිපත් කළ යෝජනාවලදිත් මම කිව්වේ අපිට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. පොදු අපේක්ෂකයා මාර්තු 12 ව්‍යාපාරයේ යෝජනා පිළිගත්තා. ඒ අනුව මාර්තු 12 ව්‍යපාරයත් ඒ මැතිවරණ ව්‍යාපාරය තුළ නියෝජනය වුණා.

මීට පෙර 72 සහ 78 ව්‍යවස්ථා සම්මත කළේ ඊට පෙර මැතිවරණවලදී නව ව්‍යවස්ථාවක් සම්මත කරන බවට නිශ්චිතවම ප‍්‍රකාශ කොට ජනවරමක් ලබාගෙන බවයි නීතිය පිළිබඳ ඇතැම් ආචාර්යවරු කියන්නේ. පහුගිය මැතිවරණවලදී එහෙම දෙයක් වෙලා නෑ කියන කාරණය තමයි ඔවුන් මතු කරන්නේ ?

නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට ආණ්ඩුවට ජනවරමක් නැහැ කියා මතු කරන නීති තර්ක, තාක්ෂණික පරස්පරතා වගේම අනෙක් පැත්තෙන් නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට ජනවරමක් ලැබී තිබෙනවා කියාත් නීති තර්ක මතු කෙරෙනවානේ. එහෙම නම් ඒ ගැන විනිශ්චයක් ගන්න වෙන්නේ දෙපැත්තේම කරුණු සළකා බලා ඒ මතයි. නමුත් මම කලින් කීවා වගේම මේ කාරණයේදී අපට වැදගත් වෙන්නේ ඒ විදියට තීන්දු තීරණ ගැනීම නොවෙයි. රටක් වශයෙන් පවතින අභියෝග ජයගෙන ඉදිරියට යා හැකිවන්නේ කොහොමද කියන කාරණය පුළුල්ව විමසා බලා තීරණ ගැනීමයි. නව ව්‍යවස්ථාවකට ජනවරමක් නැහැ කියා කියනවා නම් සකස් කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනමත විචාරණයක් සඳහා ඉදිරිපත් කිරීමෙන් එය පරීක්ෂා කිරීමටකට ලක්වෙනවානේ. ජනවරමක් තියනවාද නැත්ද අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මිනිස්සුන්ට ඕනේද නැත්ද කියන එක එතැනදි පැහැදිලිවම කියයි. මේක අපි කතා කරන්න ඕනේ මොනවගේ රටකද අපි ජීවත්වෙන්න කැමැති කියන අදහසට අනුව මිස නීති තර්ක මතම නොවෙයි. ඇත්තටම තාක්ෂණික කරුණු අනුව අපිට කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන්න පුළුවන්. ඔය තර්ක ඉදිරිපත් කරන්නේ දේශපාලන බලයට පොර වදින අය. නමුත් මේ ගැන තීරණය එන්න ඕනේ මේ රටේ සාමාන්‍ය ජීවිත ගතකරන්න කැමැති මිනිස්සුන්ගෙන්. දේශපාලන බලයට පොරබදන අයගෙන් නොවෙයි.

රටට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මොකටද? තියන එක හොඳයි. අවශ්‍ය සංශෝධනයක් ඒකෙම කරගෙන යමුයි කියන අදහසත් දැඩිව ඉදිරිපත් කරන පිරිසක් ඉන්නවා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව ඔබ දකින්නේ කොයි ආකාරයටද ?

ශ‍්‍රී ලංකාවේ පශ්චාත් නිදහස් යුගය දිහා බැලූවාම නිදහසින් පසු ගෙවුණු අවුරුදු හැත්තෑවක දීර්ඝ කාල පරාශය තුළ දක්නට ලැබෙන්නේ වගවීමෙන් මුක්ත වුණු, ක‍්‍රම ක‍්‍රමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ක‍්‍රමය දුර්වල වුණු සමාජ ක‍්‍රමයක් කරා අප තල්ලූවී ගොස් ඇති බවක්. එක් අතකින් මේක ව්‍යුහාත්මක වශයෙන්ම දුර්වල වුණා. අපි බැලූවොත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය දිහා, 1972න් පසු ජනරජ යුගයේදී ව්‍යවස්ථාව මගින්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන දුර්වල කළා. අනික් එක තමයි පරිචයෙනුත් දුර්වල වුණා.72 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් වුණේ පාර්ලිමේන්තුවේ බලය ඒකරාශි වීමක්. එතන සංවරණ සහ තුලන ක‍්‍රමය බොහොම දුර්වල වුණා. එතනදි අධිකරණ ක‍්‍රමයත් බොහොම දුර්වල වුණා. කලින් සෝල්බරි ව්‍යවස්ථාවේ තිබුණු ස්වාධීන අධිකරණ සේවා කොමිසන් සභා, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසන් සභා දේශපාලණීකරණයට අහුවෙලා දැඩි විදිහට දුර්වල වුණා. 78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඒ වන තෙක් පාර්ලිමේන්තුවේ ඒකරාශි කොට තිබුණු බලය විධායක ජනාධිපති ධුරයෙහි ඒකරාශි කළා. වගවීමකින් මුක්ත ජනාධිපතිවරයෙක් තමයි එතනදි නිර්මාණය වුණේ. එතනදිත් සංවරණ සහ තුලන ක‍්‍රමය බොහොම අඩුයි. එවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යටතේ කටයුතු කරන්න ස්වාධීන ආයතනවලට බොහොම අපහසුයි. වගවීමෙන් මුක්ත වීමේ පරිචය ව්‍යවස්ථාවෙන් ඇති කළාට වඩා දහ ගුණයකින් ඒකෙන් වැඩිවුණා.
වගවීමෙන් මුක්තවීම කියන සංකල්පය අපිට ව්‍යුහාත්මකව සහ සමාජ හරපද්ධතිය යන දෙයාකාරයට විශ්ලේෂණය කරන්න පුළුවන්. සමාජයක් වශයෙන් අපේ හර පද්ධතිය කුමක්ද? ඇත්තවශයෙන්ම අපි බලාපොරොත්තු වෙන සමාජ හර පද්ධතිය කුමක්ද? කියන ප‍්‍රශ්නය මෙහිදී අතිශයින්ම වැදගත් වෙනවා. බොහෝ අවස්ථාවල අපි මේ පිළිබඳ තියන ප‍්‍රශ්න ගැන කතා කරන්නේ ව්‍යුහාත්මකව. ආයතනවල තියන දුර්වලතා, නීතිමය ක‍්‍රියා පටිපාටිවල තියන දුර්වලතා ඔය ආදී වශයෙන්. නමුත් මේක ඊට වැඩිය පුළුල්ව විග‍්‍රහ වුණේ නැත්නම් අපිට සාර්ථක ඉදිරි ගමනක් යන්න පුළුවන් වේ යැයි කියා මම හිතන්නේ නෑ. ශ‍්‍රී ලංකාවේ වගවීමේ පරිචය දිහා බැලූවොතින් එහි තියන ප‍්‍රශ්නය වශයෙන් හඳුනාගන්න පුළුවන් වෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුධයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙතිලා තියෙන්නේ වගවීම වටා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය ක‍්‍රමයක් කියලා කියන්නේ ආධිපත්‍යයකින් තොරව, වගවීමකින් යුක්තව ක‍්‍රියාත්මක වන රාජ්‍ය ක‍්‍රමයක්. මේ වගවීමට මූලික වෙන්නේ නීතියේ ආධිපත්‍යය. නීතියේ ආධිපත්‍ය නැති තැනක වගවීම සිදුවෙන්නෙත් නැහැ.
වගවීමෙන් මුක්තවීමට තියන ප‍්‍රධානතම හේතුවක් තමයි දේශපාලන ප‍්‍රචණ්ඩත්වය සහ ගැති දේශපාලනය. මේ නිසා අපිට යුක්තිය ලබාගැනීමට සිදුවන්නේ තෝරාබේරා ගෙන. එතකොට සමාජයක් වශයෙනුත් හැමෝටම නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි නේද කියන අදහස අපි අතරින් ගිලිහෙනවා. අද දවසේ අපිට දකින්න ලැබෙන ලක්ෂණය තමයි හොඳ පුරවැසියන් පවා සිතනවා අපි කැමති සමහර අයට වගවීමෙන් මුක්තවීමක් තිබිය යුතුයි කියලා. අපි අකමැති, අපිට පිළිගන්න බැරි අයට තමයි නීතිය ක‍්‍රියාත්මක විය යුත්තේ කියලා. එවැනි දේශපාලනයක් බොහොම බරපතල විදිහට මුල් බැසගත් ජනසමාජයක අපව එයින් පාලනය වන බවක් තමයි දැන් පෙනෙන්නට තියෙන්නේ. එය වෙනස් කිරීමේ මූලික පියවරක් වශයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය සැළකිය හැකියි.

අතුරු වාර්තාව මගින් අධිකරණ ක‍්‍රමයේ සිදු කිරීමට යෝජිත වෙනස්කම් පිළිබඳවද දැඩි විවේචනයක් එල්ල වෙනවා. මූලික අයිතිවාසිකම් නඩු විසඳීමට දැනට ශ්‍රේෂ්ඨාධිකරණය සතුව පවතින බලය පහළ අධිකරණවලටත් ලබාදීමට කෙරෙන යෝජනාව ඔබ දකින්නේ කොයි විදිහටද?

ඔය දැඩි විවේචන එල්ල වෙන්නේ දේශපාලන බලයට පොර බදන යම් යම් අයගෙන්. මානව හිමිකම් කොමිසම විදිහට බැලූවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරියක් විදිහට බැලූවත්, පුරවැසියෙකු විදිහට බැලූවත් මට පෙනෙන්නේ ජනතාවට අවශ්‍ය බොහොම පහසුවෙන් අධිකරණයට ප‍්‍රවේශ වීමක්. ඒක අතිශයින්ම වැදගත්. අද තියන තත්ත්වය තමයි රටේ කොයි මුල්ලක සිටින පුරවැසියෙකුගේ වුවත් මූලික අයිතිවාසිකමක් කැඩුණු විට මාසයක් ඇතුළත උපාරිමාධිකරණයට පැමිණ නඩුවක් පැවරිය යුතුයි. ඒකට විශාල මුදලකුත් වැය කළ යුතුයි. මේක සාමාන්‍ය පුරවැසියන් බොහෝ දෙනෙකුට ඉතා දුෂ්කර කාර්යයක්. අතුරු වාර්තාවේ යෝජනා වෙලා තියන ක‍්‍රමය තුළින් මූලිකව පළාත්බද අධිකරණ තුළින් ලබාගන්න පුළුවන් සහන තියනවා. ඒ වගේම ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයට වුවත් අභියාචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. අද තියන ක‍්‍රමය අනුව මූලික අයිතිවාසිකම් නඩුවකදී ශ්‍රේෂ්ඨාධිකරණ පමණයි එකම තීරකයා. ශ්‍රේෂ්ඨාධිකරණය යම් කිසි මතයක ඉන්නවා නම් එතනින් එය අවසන් වෙනවා. ඉන් එහාට යනවා නම් යන්න තියෙන්නේ ජාත්‍යන්තර තලයට. රටේ සාමාන්‍ය පුරවැසියන්ට එවැනි පියවරයන්ට යෑම අතිශය දුෂ්කරයි. ඒ නිසා මම හිතන්නේ යෝජනා වෙලා තියන ක‍්‍රමය තුළ රටේ සාමාන්‍ය පුරවැසියන්ට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ලැබී තිබෙන අවස්ථාව දැනට පවතින අවස්ථාවට වඩා වැඩියි. මොකද වඩා පහසුවෙන් තමන් ජීවත්වන ප‍්‍රදේශයේ අධිකරණයකට යොමුවිය හැකි නිසා.

ව්‍යවස්ථාව අර්ථ නිරූපනය සඳහා වෙනම අධිකරණයක් ඇති කිරීම ?
ඒක අතිශයින්ම වැදගත් යෝජනාවක්. අද දවසේ ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කරන්න පුළුවන් එකම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය පමණයි. මේ අධිකරණය විසින් අපරාධ නඩු, සිවිල් නඩු මේ ඔක්කෝම අහනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු සම්බන්ධයෙන් අධිකරණයක් තියන කොට එය වෙනම අධිකරණයක් වෙනවා. ඒ වගේම එවැනි අධිකරණවල සාමාජිකත්වය සාමාන්‍ය අධිකරණයක සාමාජිකත්වයට වඩා වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සම්ප‍්‍රදායික වශයෙන් අධිකරණ විනිශ්චයකාරයෙකු නොවන, එහෙත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු නීතිය පිළිබඳ විශාරදයෙකු වන පුද්ගලයෙකු වුණත් එවැනි අධිකරණයක සාමාජිකයෙක් විය හැකියි. එවැනි අවස්ථා ලෝකයේ තියනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය, දේශපාලන ක‍්‍රමය, හොඳ සමාජ දැක්මක් තියන පරිණත පුද්ගලයන් අවශ්‍ය වෙනවා එවැනි අධිකරණයකට. නමුත් අද දවසේ වෙනත් බොහෝ නඩු එක්ක තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නඩු අහන්නෙත්. එනිසා ඒ පිළිබඳ විශේෂඥ බවක් අද දවසේ අවශ්‍ය වන්නේ නෑ. නමුත් වෙනම ව්‍යවස්ථා අධිකරණයක් තියන කොට එතැන විශේෂඥ බවක් ඇතිවෙනවා. උදාහරණයක් විදිහට ළමයින්ගේ නඩු අහන්න වෙනම අධිකරණයක් තිබීම දැක්විය හැකියි. මේක අතිශයින්ම වැදගත්. මොකද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නීතිය. ඒ නිසා ඒ පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යනය කරන, ඒ පිළිබඳ හසළ දැනුමක් තියන, සමාජය ගැන හොඳ දැනුමක් තියන පුද්ගලයන් පත්කරගැනීමට අවකාශ සැළසෙනවා. ඒ අයට සාම්ප‍්‍රදායික විනිශ්චයකාරවරයෙකු වීමේ අවශ්‍යතාවක් නැහැ. දේශපාලන අතපෙවීම් නැතිව මේ කටයුත්ත සිදු කළ හැකි වෙතොත් ඇත්තවශයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වඩාත් හොඳ අර්ථ නිරූපන ලබාගැනීමට අපිට හැකියාව ලැබෙනවා.

ෆෙඩරල් ක‍්‍රමයක් කි‍්‍රයාත්මක වන ඇමරිකාවේ පවා ව්‍යවස්ථාව අර්ථ නිරූපනයට වෙනම අධිකරණයක් නැහැ නේද?

ඇමරිකාවේ වෙනමම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නැහැ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණය විදිහට කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. නමුත් එතන වෙනසක් තියනවා. හැම නඩුවකම අභියාචනා ශේ්‍්‍රෂ්ඨාධිකරණයට යන්නට බැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමන්ට එන අභියාචනා සළකා බලලා තෝරාගන්නවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපනයක් අවශ්‍ය වන අභියාචනා මොනවාද කියා. ඒවා විතරක් බාරගෙන බොහොම ගැඹුරින් විමසා බලා අර්ථ නිරූපන දෙනවා. ඒක රටක ප‍්‍රජාතන්ත‍්‍රීය පැවැත්මට අතිශයින්ම වැදගත්. ඒ නිසා මගේ මතය නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අධිකරණයක් ස්ථාපිත කිරීම ඉතාම සුබවාදී දෙයක්. නමුත් ස්වාධීන වෙන්න ඉඩ දෙන්නම ඕනේ. ව්‍යුහාත්මකව ඒක නීතියෙන් පමුණුවන්න ඕනේ. ඒ වගේම පරිචයත් තියෙන්න ඕනේ.

පවතින අධිකරණ පද්ධතියෙන් බැහැරව එවැනි අධිකරණයක් පිහිටුවීම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය පහලට වැටීමක් සිදු වෙන්නේ නැත්ද ?

නෑ. එවැනි දෙයක් වෙන්නේ නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙන බලය වෙනම විදිහේ බලයක්. වෙනත් සියලූම නඩු කටයුතු පිළිබඳ උපරිමාධිකරණය වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අධිකරණය කියන්නේ ඒ හා සමගාමීව යන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පමණක් කටයුතු කරන ඉහළම අධිකරණය. මම පුරවැසියෙක් හැටියට එය ඉල්ලා සිටිනවා. හේතුව අපි ඉල්ලා සිටින එක් දෙයක් තමයි අණ පනත් අධිකරණයේ අධීක්ෂණයට ලක් කළ යුතුයි කියන එක. 72 සහ 78 ව්‍යවස්ථා දෙකෙන්ම පර්ලිමේන්තුවෙන් පණතක් පැනෙව්වාට පස්සේ කිසිම ආකාරයකින් අධිකරණයකටවත් ඒ පිළිබඳ ප‍්‍රශ්න කරන්න බෑ. ඒක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවක්. මොකද රටේ පුරවැසියන්ට සහතිකයක් තියෙන්න ඕනේ රටේ හැම ආයතනයක්ම තමන්ට වගවෙනවා කියන්න. නීති සම්පාදන කටයුත්තේදිත් ඒ වගවීම තියෙන්න ඕනේ. ඒක සොයලා බලන්න පුළුවන් වෙන්නේ අධිකරණයට. එතකොට එවැනි අණ පනත්වල කෙටුම්පත් විතරක් නෙවෙයි පැනෙව්වාට පස්සෙත් අණ පනත් පරීක්ෂණයට ලක් කරලා ඒවා විභාග කරලා බලලා ඒවා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූළද කියා බලන්න විශේෂිත අධිකරණයක් තියන එක හොඳයි කියන එකයි මගේ මතය.
.
http://www.janawari8.com/…/%E0%B7%80%E0%B6%A9%E0%B7%8F-%E0…/