කටහඩ පරික්ෂාවකට පොලිස්පති රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවයි.

නාමල් කුමාර විසින් ඉදිරිපත් කළ දුරකථන හඩ පටවල පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ කටහඩ ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඔහු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. ඒ අනුව පොලිස්පති පුජීත් ජයසුන්දර මහතාට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්  දී තිබේ. ඒ අනුව ලබන සඳුදා පෙරවරු 09.30ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.

එහිදී පොලිස්පතිවරයාගේ කටහඩ සාම්පල ලබා ගැනීමට කටයුතු කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආරියනන්ද වැලිඅංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය. පොලිස්පතිවරයාට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර ඇත්තේ ප්‍රථම වතාවට බව වාර්තා වෙයි.

ප්‍රභූ ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණි. ඊට අදාළව ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් දුරකථන හඬ පට සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.

ඒ  අනුව  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින  හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ නාමල් කුමාර යන අයගේ කටහඬ  සාම්පල පරීක්ෂා කිරීම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබීය.