රාජ්‍ය බලය ඇල්ලීමේ හමුදා කුමන්ත්‍රණය පරාදයි

මධ්‍යම අප්‍රිකානු ගැබොන් රාජ්‍යයේ හමුදාව විසින් පාලන බලය අතට ගැනීම සඳහා දියත්කළ හමුදා කුමන්ත්‍රනය පරාජය කළ බව එරට ජනාධිපති අලි බොන්ගෝ පවසයි.

ගැබොන් රාජ්‍ය වසර 50කට අධික කාලයක් තිස්සේ පාලනය කරනු ලබන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන් විසිනි.

එමගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කඩා වැටී ඇති බව පවසමින් එරට රජයේ හමුදා සාමාජිකයන් පිරිසක් විසින් කැරැල්ලක් දියත් කර තිබුණි. ගැබොන් රාජ්‍යයේ ගුවන් විදුලි සහ රූපවාහිනී මධ්‍යස්ථාන වෙත කඩා වැදුනු හමුදා සමාජිකයන් පවසා සිටියේ ගැබොන් රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීම වුදෙසා එහි බලය අල්ලාගනු ලබන බවයි.

කෙසේ වෙතත් කැරැල්ලට සම්බන්ධ ඉහළ හමුදා නිලධාරීන් 4 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර තවත් හමුදා සාමාජිකයෙකු පලා යමින් සිටියි.

මේ වනවිට ගැබොන් රාජ්‍යයේ තත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවත් කුමන්ත්‍රණකරුවන් ලෙස නම් කළ හමුදා ජනරාල්වරුන්, විපක්ෂ ක්‍රියාකාරීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන බව එරට රජය පවසයි.