මහනුවර දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක් තට්ටු පහකින් පැන දිව ගලවා ගනිති

මහනුවර යටිනුවර වීදියේ වෙළෙඳ සංකීර්ණයක අද(08) පෙරවරුවේ හටගත් ගින්නකට මැදිවූ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක් මහල් පහකින් යුතු ගොඩනැගිල්ලකින් බිමට පැන දිවි ගලවා ගත්හ.

තම දරුවන් සහ බිරිඳගේ ජීවිත බේරාගැනීමේ අරමුණින් ඔවුන් මහල් පහක ගොඩනැගිල්ලකින් පහළට දැමීමට දරුවන්ගේ පියා වන රාමනාදන් රාමරාජ්  කටයුතු කර තිබුණි.

මහල් පහකින් යුත් මෙම ගොඩනැඟිල්ලේ වෙළෙඳසැල් හා ගබඩා කාමර පවත්වාගෙන ගොස් ඇති අතර එහි පස්වන මහලේ කාමරයක දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුල තාවකාලිකව පදිංචිව සිටියේය.

කෙසේ වෙතත් තොරතුරු ලද වහාම ක්‍රියාත්මක වූ මහනුවර පොලිසිය,මහනුවර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය,යුද හමුදාව සමග එක්වූ ජනතාව ගින්න මැඩ පැවැත්වීමට යුහුසුළුව කටයුතු කළේය.

දිවි බේරා ගැනිමට ගත් උත්සාහයේදී සුළු තුවාල ලැබූ ගොඩනැගිල්ලේ පදිංචිව සිටි පවුලේ පියා,මව සමඟ සත් හැවිරිදි සය හැවිරිදි සහ තුන් හැවිරිදි දරු තිදෙනා මේ වන විටත් මහනුවර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

අද පෙරවරු 7ට පමණ වෙළෙඳ සංකීර්ණයේ තුන්වන මහලේ මෙම ගින්න ගෙන තිබුණ අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.