ලෝක කුසලානයට පෙර සුදුසුකම් ලැබීමේ තරඟයක්

එළැඹෙන 2020 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක ශූරතාව සදහා සුදුසුකම් ලැබීමටනම් ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි වී ඉන් ජයගත යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (01 දා) තහවුරු කළේය. පසුගිය දෙසැම්බර් 31 වැනිදාට පෙර අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනූව ශ්‍රී ලංකාවට අදාළ සුදුසුකම් ලැබීමේ වටයට සහභාගි වීමට ස්ථිර වී තිබේ.

වත්මන් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 87 ක් ලබා නව වැනි තැන පසුවීම හේතුවෙන් සුදුසුකම් ලැබීමේ වටයකට සහභාගි විය යුතුවේ. එම ලැයිස්තුවේ ප්‍රසාද ලකුණු 77 ක් ලබා සිටින බංග්ලාදේශයටද විස්සයි විස්ස ලෝක කුසලාන සුපිරි කණ්ඩායම් අතරට පැමිණීමටනම් සුදුසුකම් ලැබීමේ වටයකදී ජයග්‍රහණය ලබාගත යුතුය.

මීළග විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා කණ්ඩායම් 16 ක් තරග වදින අතර එහිදී ඉකුත් දෙසැම්බර් 31 වැනිදාට පෙර ශ්‍රේණිගත කිරීම්වල සිටි පළමු කණ්ඩායම් අට නිතරගයෙන්ම සුදුසුකම් ලබීය. අනතුරුව ඔවුන් සමග තරග කිරීමට තවත් කණ්ඩායම් 4 ක් තෝරා ගන්නා අතර එම කණ්ඩායම් අට සුදුසුකම් ලැබීමේ වටයකින් අනතුරුව තීරණය කරනු ලබයි. සුදුසුකම් ලැබීමේ වටයට පිවිසීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය නොලද රටවල් 65 ක් තරග වදිනු ලබයි. එම තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වේ.

අදාළ සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හය අතරට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ ඇතුළත්වේ. අනතුරුව එම වටයේදී ඉදිරියෙන් සිටින කණ්ඩායම් හතරක් ලෝක කුසලාන ප්‍රධාන කණ්ඩායම් තරග වදින වටය සදහා සුදුසුකම් ලැබීමට නියමිතය.

විස්සයි විස්ස ලෝක කුසලාන එළැඹෙන 2020 වසරේ ඔක්තෝම්බර් මස 18 වැනිදා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්, බ්‍රිස්බේන්, කැන්බරා සහ ජෙලෝන්ග් යන නගරවලදී පැවැත්වීමට නියමිතය. මේ සදහා කණ්ඩායම් 16 ක් තරග වැදීමට නියමිතය.

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරග තුනකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව 2014 වසරේදී විස්සයි විස්ස ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය. 1975 වසරෙන් පසුව ක්‍රිකට් ලෝක කුසලානක සුදුසුකම් ලැබීමේ වටයකින් පසුව අවස්ථාව ලබා ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවූ පළමු අවස්ථාවද මෙය වේ.

‘ඉතාමත් කණගාටුයි කෙළින්ම අපිට පළමු කණ්ඩායම් 12 අතරට පැමිණීමට නොහැකිවීම සම්බන්ධව. මොකද අපි විස්සයි විස්ස ලෝක කුසලාන තුනක අවසන් මහ තරගයට ඇවිල්ලා එක පාරක් ශූරතාව දිනා ගත් කණ්ඩායමක්. දැන් අතිරේක තරග කිහිපයකට සහභාගි වෙලා තමයි ප්‍රධාන කණ්ඩායම් අට සමග තරගාවලියට එන්න වෙලා තියෙන්නෙ. මේ තරගාවලියට අපි හොදින් සූදානම් විය යුතුයි.’ යනුවෙන් ලසිත් මාලිංග පැවසීය.