ශ්‍රී ලංකා ඉතිහාසයේ දූෂිතම මැතිවරණය 1982 ජනමත විචාරණ මංකොල්ලයයි

ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ අනුපිළිවෙළින් දූෂිත ම මැතිවරණ තුන වන්නේ 1982 ජනමත විචාරණය, 1982 ජනාධිපතිවරණය, සහ 1999 වයඹ පළාත් සභා මැතිවරණයයි. වයඹ පළාත් සභා මැතිවරණයට අඩු අගයක් ලැබෙන්නේ එය දූෂණයෙන් අඩු වූ නිසා නොව, එය එක් පළාතකට පමණක් සීමා වූ මැතිවරණයක් වීම නිසා සහ එහි දී සිදු වූ දූෂණ ක්‍රියා නිසා සමස්ත මැතිවරණයේ ප්‍රතිඵලය වෙනස් නොවූ නිසා පමණි. රාජ්‍ය නායකයා වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ සංවිධානාත්මක මැර දේශපාලනය විසින් වංචාවෙන් ජය ගැනීම සඳහා ම සැලසුම් කොට පවත්වන ලද මැතිවරණය 1982 ජනමත විචාරණයයි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජනමත විචාරණය පැවැත්වීමට තීරණය කළේත් එය පැවැත්වීමට නීති සකස් කළේත් එය පැවැත්වූවේත් අවසානයේ එය ජය ගත්තේත් වංචා සහගත ව ය. මෙරට මැතිවරණ ඉතිහාසයේ කුප්‍රකට ම, දූෂිත ම මැතිවරණය වූ ජනමත විචාරණය පවත්වා අදට අවුරුදු 36කි. මේ සටහන ඒ සංවත්සරය වෙනුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාවට තිබූ බිය නිසා ඇයගේ ප්‍රජා අයිතිය අහිමි කර, සිය බලය තහවුරු කර ගැනීම සඳහා ජනාධිපති ජයවර්ධන මුලින් ම කළේ 1983 පැවැත්විය යුතු ව තිබූ මහ මැතිවරණයට කලින් ජනාධිපතිවරණයක් ඉදිරියට ගැනීමයි. ඒ අනුව 1982 ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා දූෂණයෙන්, භීෂණයෙන්, වංචාවෙන් එය ජය ගත් ඔහු ඊළඟට, මහ මැතිවරණයක් නොපවත්වා පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළේ ය. මහ මැතිවරණයක් පැවැත්වුව හොත් එය පැවැත්විය යුතු ව තිබුණේ අලුතින් හඳුන්වා දෙන ලද සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ බැවින්, ඒ වන විට ආණ්ඩුවට තිබූ 5/6ක පාර්ලිමේන්තු බලය අහිමි වී යන බව ඔහු කලින් ම දැන සිටි අතර, ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් ද ඒ බව තහවුරු විය.

ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියම අවුරුදු දහයකට අකුළා තැබිය යුතු යැයි ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ඔහු ම කළ ප්‍රකාශය විහිළුවක් නොවේ. මහ මැතිවරණය පැවැත්වුව හොත් ආණ්ඩුවේ අද්විතීය බලය අහිමි වී යන බව ඔහුට රහසක් නොවී ය. පැවැති තත්වය යටතේ මහ මැතිවරණයකට ගිය හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 70කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවාට අමතර ව, ජනාධිපතිවරණයෙන් ඡන්ද ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් ලැබූ ජනතා විමුක්ති පෙරමුණට ද සුළුවෙන් හෝ පාර්ලිමේන්තු නියෝජනයක් ලැබීමට ඉඩ තිබිණි. පරිණත දේශපාලනඥයකු වූ ජේ.ආර්.ගේ විශ්ලේෂණයට මේ බව හසු නොවී තිබිය නොහැකි ය. ජනතා විමුක්ති පෙරමුණේ එක් අයකු හෝ පාර්ලිමේන්තුවට පැමිණිය හොත් මෙතෙක් කල් තමා කර ගෙන ආ දේශපාලන මගඩිය තව දුරටත් පවත්වා ගෙන යා නොහැකි බව ඔහු දැන සිටියේ ය. එබැවින් කෙසේ වත් මහ මැතිවරණයකට යා නොහැකි බව ඔහු තීරණය කරන්නට ඇත.

එහෙත් නීතිය අනුව මහ මැතිවරණයක් නොපවත්වා සිටිය නොහැකි විය. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු හයකි. ඒ අනුව 1977 අගෝස්තු 04 දා සිට සය අවුරුද්දකින් පාර්ලිමේන්තුවේ කාලය අවසන් වීමට නියමිත ව තිබිණි. ව්‍යවස්ථාවේ දැක්වෙන නීති ප්‍රතිපාදන අනුව නම් 1983 අගෝස්තු 03 දාට පෙර මහ මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් පත් කර ගත යුතු ය. එහෙත් ජේ.ආර්.ට අවශ්‍ය වූයේ මැතිවරණයකට නොගොස් එතෙක් පැවැති ආණ්ඩුවේ කාලය දීර්ඝ කර ගැනීමට ය. ජේ.ආර්.ට එසේ අවශ්‍ය වුවත් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්ඩ‍යවස්ථාවෙන් ඉඩක් තිබුණේ නැත. එබැවින් ජේ.ආර්. කළේ තමාට අවශ්‍ය දේ කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමයි.

ජනාධිපති ජයවර්ධන මේ සදහා අනුගමනය කළ ක්‍රියාදාමය පළමුවෙන් ම නීති විරෝධී විය. දෙවනු ව ප්‍රජාතන්ත්‍ර වීරෝධී විය. තුන් වනු ව ස්වාභාවික යුක්ති ධර්මයට පටහැනි විය. ඒ සියල්ලට මත් වඩා ශිෂ්ට සමාජයේ සදාචාරයට පටහැනි විය. අද දවසේ වුවත් හෘද සාක්ෂ්‍යයක් ඇති එක්සත් ජතික පාක්ෂිකයකුට 1982 ජනමත විචාරණ ක්‍රියාවලියේ දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කටයුතු කළ ආකාරය විලිලජ්ජාවකින් තොර ව සිහිපත් කළ නොහැකි ය. එසේ කළ හැක්කේ ස්ථිර වශයෙන් ම හෘද සාක්ෂ්‍යයක් නැති අමනයකුට පමණි. 1982 ජනමත විචාරණයේ දී අනුගමනය කළ ක්‍රියාවලිය එතරම් ම නින්දා සහගත සහ අශික්ෂිත එකක් විය. එහි දී ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එජාප ආණ්ඩුව කටයුතු කළ ආකාරය මුල සිට විමසා බැලුව හොත් ඒ බව පැහැදිලි කර ගත හැකි ය.

ජේ.ආර්. මේ අවලම් ක්‍රියාවලියට මුල පිරුවේ ජනාධිපතිවරණය පැවැති 1982 ඔක්තෝබර් 20 දා ම ය. එදින රාත්‍රී ජනාධිපතිවරණප්‍රතිඵල නිිකුත් වීම ආරම්භ වන්නටත් පෙර දිවයින පුරා ම බලපැවැත්වෙන පරිදි හදිසි නීති පනවන ලදී. හදිසි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නොතිබුණත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ව කලබල ඇති වන්නට ඉඩ තිබූ බැවින් හදිසි නීතිය පැනවීම ගැන කිසිවකුගේ විශේෂ අවධානයක් යොමු වූයේ නැත. එහෙත් ජේ.ආර්. හදිසි නීති පැනවූයේ තමාගේ ඉදිරි කූට සැලැස්මක් සඳහා බව පැහැදිලි වූයේ ජනාධිපතිවරණ කාලයෙන් පසු ව ද දිගින් දිගට ම හදිසි නීතිය ඉවත් නොකර පවත්වා ගෙන ගිය බැවින් සහ දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා එය උපයෝගී කර ගත් බැවිනි.

හදිසි නීතිය පනවා තමාට අවශ්‍ය නීතිමය ආවරණය නිර්මාණය කර ගත් ජනාධිපතිවරයා, එතැන් සිට ආණ්ඩුවට විරුද්ධ සියලු දෙනා වෙත භීෂණයක් මුදා හරිමින් ජනමත විචාරණ නාටකය කරළියට ගෙනාවේ ය. ජනාධිපතිවරණයෙන් ජය ලබා බලය කහවුරු කර ගත් වහා ම, ඔක්තෝබර් 24 දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් රත්නසිරි වික්‍රමනායක හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිසියේ රඳවා තැබීමට පියවර ගන්නා ලදී.

ජනාධිපතිවරණය පවත්වා සතියකට පසු ව එනම් ඔක්තෝබර් 28 දා පැවැති ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ජේ.ආර්. ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් නිල නොවන සේ සිය අත්අඩංගුවට ගත්තේ ය. ඒ සඳහා ඔහු කළේ මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපි ලබා ගැනීමයි. එතැන් සිට ආණ්ඩුවේ ඔනෑ ම මන්ත්‍රීවරයකු ඉවත් කිරීමට අවශ්‍ය වුව හොත් ඔහුට කරන්නට තිබුණ් අදාළ මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියට දිනයක් දමා කතානායකවරයා වෙත යැවීම පමණකි. මේ නිසා ආණ්ඩුවේ සියලු මන්ත්‍රීවරුන් එතැන් සිට කටයුතු කළේ සිය මන්ත්‍රීකම කොයි මොහොතේ අහිමි විය හැකි ය යන බියෙනි. (ඔව්! ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක ද ඉල්ලා අස්වීමේ ලියුම් දුන්හ.)

ජනාධිපතිවරණය පවත්වා දෙසතියක් ඉක්ම යන්නටත් පෙර, එනම් 1982 නොවැම්බර් 03 දා ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් සහිත ව නිවේදනයක් නිකුත් කරමින්, මහ මැතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කළ බව ප්‍රකාශයට පත් කළේ ය. නිවේදනයේ සඳහන් වූ කරුණු සියල්ල ඉතා ම සැලසුම් සහගත ව නිර්මාණය කරන ලද බොරු සමූහයකි.

ජනාධිපතිවරණයෙන් ශ්‍රීලනිප අපේක්ෂකයා ජය ගත හොත් ඒකාධිපති පාලනයක් ඇති කිරීමට ඒ පක්ෂයේ කණ්ඩායමක් නක්සල් කුමන්ත්‍රණයක් දියත් කර තිබූ බවත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුව හොත් ඒ මතය දරන්නන් මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වීමට ඉඩ ඇති බවත් එවැනි තත්වයක් ඇති වීම වැළැක්වීමට පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කළ බවත් ඒ නිවේදනයේ සඳහන් විය. ජේ.ආර්.ගේ ප්‍රකාශයක් ලෙස ඒ නිවේදනයට ඇතුළත් කර තිබූ පට්ටපල් බොරු සමූහය දැන් දකින එජාප හිතවාදීන්ට කුමක් සිතෙනු ඇත් ද? මේ ඒ නිවේදනයේ කොටසකි.

‘… ජනාධිපති මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ හා ශ්‍රීලනිපක්ෂයේ විධායක කමිටුවේ බහුතරය වූ කණ්ඩායම මා හා තවත් අමාත්‍යවරුන් කිහිප දෙනකු ද, අනුර බණඩාරනායක මහතා, හමුදාපතිවරුන් සහ තවත් අය ද මරණයට පත් කිරීමට ද, බණ්ඩාරනායක මහත්මිය සිරගත කිරීමට ද තීරණය කර ඇතැයි ජනාධිපතිතිවරණයට පසු දින එනම් 1982 ඔක්තෝබර් 21 දා මට තොරතුරු ලැබුණේ ය. ජයග්‍රහණයේ ශක්තිය මත හමුදා ආණ්ඩුවක් පිහිටුවීමටත් මැතිවරණ රැස්වීම්වල දී කියූ පරිදි සියලු ආණ්ඩුක්ර ම ව්‍යවස්ථා පටිපාටි ඉරා දැමීමටත් ඔවුහු අදහස් කරති.

මෙය සිදු වීමට ඉඩ දිය යුතු ද එසේ නැත්නම් ජනතාවගෙන් පහත සඳහන් දේ ඇසිය යුතු ද යන්න මා තීරණය කළ යුතුයි. ඒ අනුව මා විසින් අපගේ රටට ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් යටතේ ස්ථාවර රජයක් මත සාමය හා සමෘද්ධිය ළඟා කරන්නේ ද එසේ නොමැති නම් දේශපාලන මැරවරයන් සමූහයක් විශාල වශයෙන් පාර්ලිමේන්තුවට ඇතුළු වී ප්‍රජාතාන්ත්‍රික පටිපාටිය විනාශ කරමින් ඊළඟ මැතිවරණයේ දී ඔවුන්ගේ නැක්සලයිට් රජයක් පිහිටුවීම සඳහා බලය තහවුරු කර ගැනීමට ඉඩ දිය යුතු ද යන්න තීරණය කළ යුතුයි.

ශ්‍රීලනිපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයන්ට බලය තහවුරු කර ගැනීමට ඉඩ දිය යුතු බව ද මම සිතුවෙමි. ඔක්තෝබර් 20 වන දින පැවැති ඡන්දය අනුව මා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වූයේ නම් මාගේ පක්ෂය වන එජාපයට ආසන 196න් ආසන 120ක් ලබා ගැනීමට ඉඩ තිබුණි. ශ්‍රීලනිපයට ආසන 68ක් ලබා ගැනීමට ඉඩ තිබුණි. මා ඊට අකැමැති නැත. එහෙත් විපක්ෂය ප්‍රජාතන්ත්‍ර විරෝධී, කඩාකප්පල්කාරී සහ නක්සලයිට් වන්නේ නම් එයට මා අකැමැති ය. ඔක්තෝබර් 20 වන දින ශ්‍රී‍ලනිප නායකත්වය එසේ විය. මෙකී හේතු නිසා මාගේ තීරණය වෙනස් කොට මහ මැතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමට තීරණය කළේ ය….’

මේ නිවේදනයේ සඳහන් වන කරුණු කිසිවක් සත්‍ය ඒවා නොවේ. සියල්ල ජේ.ආර්.ගේ උපදෙස් පරිදි නිර්මාණය කරන ලද ව්‍යාජ හා අසත්‍ය තොරතුරු ය. මෙය කියවන කවරකුට වුව ද ජේ.ආර්. ජයවර්ධන යනු කෙබඳු ස්වරූපයේ එකාධිපතියකු වී ද යන්න ගැන අදහසක් ලබා ගත හැකි ය. මැතිවරණයක් පවත්වන්නේ ද නැද්ද, පවත්වන්නේ කුමන මැතිවරණයක් ද ආදී සියල්ල තීරණය කරන ලද්දේ ජනාධිපති ජයවර්ධන විසිනි. ජේ.ආර්. මෙවැනි ලජ්ජා සහගත නීච උපක්‍රමයක් ඔස්සේ බලය තහවුරු කර ගන්නා විට අද එජාප හිතවාදීන් මහා ඉහළින් හිස් මුඳුනේ තබා වන්දනාමාන කරන ආර්. ප්‍රේමදාස, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක ආදී නායකයන් පමණක් නොව මහා ප්ර්ජාතන්තවාදියා යැයි ඔසවා තැබෙන වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ ද ඔහුගේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයේ සිටි බවත් සටහන් කර තැබිය යුතු ය.

ආණ්ඩුව ජනමත විචාරණයක් පවත්වන බවට එසේ නිවේදනයක් නිකුත් කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයක් තිබුණේ නැත. ඒ සඳහා ජේ.ආර්. ප්‍රජාතන්ත්‍ර විරෝධී තුච්ඡ පියවරකට ගියේ ය. ඔහු කළේ මේ නිවේදනය නිකුත් කළ දිනට පසු දින එනම් 1982 නොවැම්බර් 04 දා ආණ්ඩුක්‍රම ව්යව්ව‍ය්ථාවට සංශෝධනයක් ගෙන ඒමයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්යව්ව‍ය්ථාවේ සිව් වැනි සංශෝධනය වූ එමඟින් ව්යව්ව‍ය්ථාවේ 161 (ඉ) ඡේදය ඉවත් කර අලුත් ඡේදයක් ඇතුළත් කිරීමට යෝජනා කර තිබිණි. ඉවත් කිරීමට යෝජිත ඡේදය මෙසේ විය.

‘කලින් විසුරුවා හරිනු ලැබුව හොත් මිස ප්‍රථම පාර්ලිමේන්තුව 1977 අගෝස්තු මස 4 වැනි දින සිට සය අවුරුද්දක් පවත්නේ ය. එකී සය අවුරුදු කාලය ඉකුත් වීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් ලෙස ක්‍රියාත්මක වන අතර ව්‍යවස්ථාවේ 70 (6) (ආ) ඡේදයේ එන විධිවිධාන අදාළ වන්නේ ය.’

ඒ ඡේදය ඉවත් කර, ඇතුළත් කිරීමට ගෙන ආ ඡේදය මෙසේ විය.

‘කලින් විසුරුවා හරිනු ලැබුව හොත් මිස ප්‍රථම පාර්ලිමේන්තුව 1989 අගෝස්තු 4 වැනි දින තෙක් පවත්නේ ය. ඊට වඩා දීර්ඝ කාලයක් නොපවත්නේ ය. ඉන් පසුව පාර්ලිමේන්තුව විසිරෙන අතර 70 ව්‍යවස්ථාවේ 5 වන අනුව්‍යවස්ථාවේ (අ) ඡේදයේ විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිත ව අදාළ වන්නේ ය.’

මේ සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනය සඳහා ඉදිරිපත් වූ විට එහි විනිශ්චයකාරවරුන් හත් දෙනාගෙන් සිව් දෙනකුගේ මතය වූයේ අදාළ සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත කරනවාට අමතර ව ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බැවින් එය අනුමත කරනවා හැර විමර්ශනයට ලක් කිරීමේ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නැති බවයි. එහෙත් අගවිනිසුරු නෙවිල් සමරකෝන්, ඩී. විමලරත්න සහ බී.එස්.සී. රත්වත්තේ යන විනිශ්චයකාරවරුන් තිදෙනාගේ මතය වූයේ සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්යව්ව‍ය්ථාවට පටහැනි බව ය. මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් අනුමත කෙරුණු අතර, එය ජනමත විචාරණයකින් අනුමත වන තෙක් නීතියක් බවට පත් නොවිය යුතු යැයි කතානායකවරයා විසින් නිවේදනය කරන ලද අතර එය 1982 නොවැම්බර් 13 දා ගැසට් පත්‍රයෙහි පළ විය.

කතානායකවරයාගේ ඒ නිවේදනය පදනම් කර ගනිමින්, මේ සංශෝධනය අනුමත කරන්නේ ද යන්න විමසීම සඳහා වූ ජනමත විචරණය 1982 දෙසැම්බර් 22 දා පැවැත්වීමට තීරණය කරන ලදී. යෝජනාව අනුමත කරන්නේ නම් ‘ලාම්පුව’ ලකුණටත් අනුමත නොකරන්නේ නම් ‘කළගෙඩිය’ ලකුණටත් ඡන්දය ප්‍රකාශ කළ යුතු විය. ජේ.ආර්. ජනමත විචාරණ මංකොල්ලයට අවශ්‍ය පසුබිම සකස් කර ගත්තේ එසේ ය.

තමාගේ ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයකට යනවා වෙනුවට කූඨ ලෙස ආණ්ඩුවේ කාලය දිගු කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම අසික්කිත අයුරින් සකස් කර ගත් ජේ.ආර්. ජනමතය මංකොල්ලකෑම ආරම්භ කළේ ය. වෙනත් වචනවලින් කියනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කොන්දේසියක් හෙවත් ජනතා පරමාධිපත්‍ය අයිතියක් වන ‘ඡන්ද බලය’ එපා කියා ජනතාවගෙන් ම වරමක් ලබා ගැනීමේ වංචනික සැලැස්ම ක්‍රියාවට නැංවී ය.

ජනමත විචාරණය පැවැත්වීමට පෙර ඊනියා නැක්සලයිට් චෝදනාව යටතේ නොවැම්බර් 19 දා ප්‍රධාන විපක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම් විජය කුමාරතුංග ඇතුළු නායකයෝ කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන මැගසින් බන්ධනාගාරගත කරන ලදහ. ශ්‍රීලනිප නායිකාවගේ ප්‍රජා අයිතිය අහිමි කර තිබූ තත්වයක් යටතේ ඒ පක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමේ වගකීම ප්‍රධාන වශයෙන් උසුලන ලද පුද්ගලයා වූයේ විජය කුමාරතුංග ය.

ජනමත විචාරණයේ දී විපක්ෂයේ ඡන්ද ව්‍යාපාරයට තිබූ ශක්තිය දුර්වල කිරීම සඳහා ජේ.ආර්.ගේ ආණ්ඩුව තවත් බොහෝ දේ කළේ ය. ‘ඇත්ත’, ‘ජනදින’ සහ යාපනයේ පළ කෙරෙමින් තිබූ ‘සුදන්දිරන්’ යන පුවත්පත් යළි පළ කළ නොහැකි වන සේ සීල් තබන ලදී. ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලනිපයේ මුද්‍රණ කටයුතු කළ ප්‍රධාන පෙළේ මුද්‍රණාල කිහිපයක් තහනම් කොට සීල් තැබිණි. විපක්ෂයේ පෝස්ටර් සහ පත්‍රිකා සැලසුම් කරන ලදැයි චෝදනා කර රජයේ සේවකයන් පිරිසකගේ වැඩ තහනම් කරන ලදී. ජේ.ආර්. මේ සියල්ල කළේ ජනමත විචාරණයේ දී ආණ්ඩුවට එරෙහි ව සංවිධානාත්මක හා විධිමත් මැතිවරණ ව්‍යාපාරයක් ගෙනයෑම කඩාකප්පල් කිරීමට ය.

නැක්සලයිට් කුමන්ත්‍රණයක් පිළිබඳ බොරු චෝදනාව ආණ්ඩුවේ ජනමත විචාරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධාන තුරුම්පුව ලෙස භාවිත විය. ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, සහ ඇමැතිවරුන් වූ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක ඇතුළු ආණ්ඩුවේ සියලු නායකයෝ කිසි දු හිරිකිතයකින් හා විලිලජ්ජාවකින් තොර ව මේ බොරුව කියමින් රට වටා ගියෝ ය.

1982 ජනමත විචාරණය යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති නින්දා සහගත ම අසික්කිත ම මැතිවරණයයි. ජනාධිපති ජයවර්ධනට මේ ඡන්දය කෙසේ හෝ ජය ගැනීමට සිදු වී තිබුණේ ය. ජනමත විචාරණය පරාජය වුව හොත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වන්නේ ය. ජනමත විචාරණය පරාජය වී මහ මැතිවරණයකට යෑමට සිදු වුව හොත් ආණ්ඩුවට පැහැදිලි ව ම අත් වන්නේ දරුණු පරාජයකි. එබැවින් ජනමත විචාරණය යනු ජේ.ආර්.ට සහ ඔහුගේ ආණ්ඩුවට ජීවිතයත් මරණයත් අතර සටනක් වී තිබිණි. ඒ නිසා යූඇන්පිය ජනමත විචාරණයේ දී හැසිරුණේ මාරාවේශයෙනි. ආණ්ඩු විරෝධී සියලු කණ්ඩායම් කෙරෙහි භීෂණය පතුරුවා හරිමින් යූඇන්පී මැරයෝ ඡන්ද මංකොල්ලයක යෙදුණෝ ය. ඡන්ද පත්‍රිකා පැහැර ගන්නා ලදී. විරුද්ධ පාක්ෂිකයන්ට තර්ජනය කරන ලදී, පහර දෙන ලදී, ගෙවල් ගිනි තබන ලදී. විරුද්ධවාදීහු පැහැර ගෙන යන ලදහ. විරුද්ධ පාක්ෂික රැස්වීම්වලට පහර දෙන ලදී. කඩාකප්පල් කරන ලදී.

ඡන්දය පැවැති 1982 දෙසැම්බර් 22 දා මුළු රට ම භීෂණයෙන්, අවනීතියෙන්, වංචාවෙන් වල් වැදුණේ ය. ආණ්ඩු විරෝධි යැයි සැක කෙරෙන අය ඡන්ද මධ්‍යස්ථානවලින් පලවා හරින ලදහ. ආණ්ඩුවට පක්ෂ ව ඡන්දය දිය යුතු යැයි විරුද්ධ පක්ෂවල අහිංසක ඡන්දදායකයන්ට තර්ජනය කරන ලදී. එසේ ඡන්දය දුන් බව සහතික කිරීම සඳහා ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීමෙන් පසු ව එය ප්‍රසිද්ධියේ ඔසවා පෙන්වන ලෙසට ද ඔවුන්ට නියෝග කර තිබිණි. මැතිවරණ නිලධාරීන් බිය ගන්වා පලවා හැරීම් රටේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා විය. යූඇන්පී මැරයෝ ආයුධ සන්නද්ධ ව පාරවල් පුරා සැරිසරමින් මහජනයා බිය ගැන්වූහ. මේ ඡන්දයේ දී යූඇන්පී මැරයන් දැම්මේ හොර ඡන්ද නො ව මැර ඡන්දයි. රට පුරා ම ඡන්ද මංකොල්ල කන ලදී. මධ්‍යාහ්න 12.00න් පසු ඡන්ද මධ්‍යස්ථාන වෙත කඩා මැදුණු යූඇන්පී මැරයෝ ඡන්ද නිලධාරීන් පලවා හැරියෝ ය. ඉන් අනතුරු ව ලාම්පුවට සලකුණු කළ ඡන්ද පත්‍රිකා ඡන්ද පෙට්ටිවලට එබූහ. ඡන්ද ගණන් කරන අවස්ථාවේ දී ඉතිහාසයේ පළමු වරට ඡන්ද පෙට්ටිවල තිබී ඡන්ද පත්‍රිකා මිටි පිටින් හමු වූයේ මේ ඡන්දයේ දී ය.

හොර ඡන්ද දැමීම සීමාවකින් තොර ව සිදු විය. ඊට මාස දෙකකට පෙර ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුව ජනමත විචාරණ කාලය තුළ දී විසිඑක් වතාවක් රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කර තිබිණි. ඔහු ජනමත විචාරණයේ දී ඡන්දය දීම සඳහා තම ඡන්ද මධ්‍යස්ථානය වූ කොල්ලුපිටියේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට ගිය විට දැන ගන්නට ලැබුණේ ඔහුගේ ඡන්දය ඊට පෙර කිසිවකු විසින් හොරෙන් දමා ඇති බවයි.

ඡන්ද මංකොල්ලය පාලනය කර ගත හැකි මට්ටම ද ඉක්මවා ගොස් තිබුණු බවක් පෙනිණි. එය කෙතරම් උග්‍ර වී තිබුණේ ද යත් ඊට දෙමසකට පෙර පැවැති ජනාධිපතිවරණයේ දී විපක්ෂය ජය ගත් ශ්‍රී ලනිප බලකොටුව වන අත්තනගල්ල ද ආණ්ඩුව ජය ගෙන තිබුණේ ය. (ජනාධිපතිවරණයේ දී අත්තනගල්ලෙන් ජේ.ආර්ට ලැබුණේ ඡන්ද 22513ක් පමණි. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ හෙක්ටර් කොබ්බෑකඩුවට ඡන්ද 33790ක් ලැබී තිබිණි. එහෙත් ජනමත විචාරණයේ දී ජේ.ආර්ගේ යෝජනාවට පක්ෂ ව ඡන්ද 35747ක් ලැබී තිබුණු අතර විපක්ෂ ව ලැබී තිබුණේ ඡන්ද 17042ක් පමණි.) අත්තනගල්ල ආසනය තුළ යූඇන්පිය පතුරුවා තිබූ භීෂණය කෙතරම් ද යන්න ඉන් වටහා ගත හැකි ය. ජනාධිපති ජයවර්ධන ද ඒ ගැන විස්සෝප වූ බව පැවසේ. ඔහුගේ එවකට මාධ්‍ය ලේකම්වරයා වූ සේනාධීර පියසේන ඒ ගැන පසු කාලයක පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක දී මෙසේ කියා තිබිණි.

“…1982 ජනමත විචාරණයේ ප්‍රතිඵල ගැන ආර්. ප්‍රේමදාස වගේ ප්‍රබල අයත් මමත් අතර වාදයක් තිබුණා. ඊට කලින් වැඩි ඡන්ද 10,000කින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගත්තු අත්තනගල්ල ආසනය ජනමත විචාරණයෙ දී යූඑන්පිය දිනලා තිබුණා. මම කිවුව ලෝකෙ කවුරුත් මේක පිළිගන්නෙ නැහැ කියලා. ඒත් ප්‍රේමදාස වගේ අයට ඕනෑ වුණේ කොහොම හරි දිනන්න.

ජනාධිපතිවරයාගෙ ස්ථාවරය වුණේ මොකක් ද?

එයා අසරණ වුණා. එයා අනික් මැතිවරණ දූෂණවලට අනුබල දුන්නට අත්තනගල්ල, දොම්පෙ වගේ තැන්වල ඡන්ද මිටි පිටින් දානවට කැමැති වුණේ නැහැ. ඒ කොහොම වුණත් වෙච්ච වැරැද්ද නිවැරැදි කරන්න ගියෙත් නැහැ….”
(2001 පෙබරවාරි 25 ලක්බිම ඉරිදා සංග්‍රහය)

කෙසේ හෝ සියලු නොපනත්කම් අවසානයේ ජනමත විචාරණය ජය ගැනීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමත් විය. ඡන්දයේ අවසන් ප්‍රතිඵලය මෙසේ විය.

යෝජනාවට පක්ෂ ව ලැබුණු ඡන්ද සංඛ්‍යාව (ලාම්පුව) 31,41,223
යෝජනාවට විරුද්ධ ව ලැබුණු ඡන්ද සංඛ්‍යාව (කළගෙඩිය) 26,05,983

එහෙත් ආණ්ඩුව කොතරම් දැවැන්ත භීෂණයක් මුදා හැරියත් දිස්ත්‍රික්ක හතක දී එනම් කළුතර, ගාල්ල, හම්බන්තොට, යාපනය, වන්නි, මඩකළපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල දී ආණ්ඩුවේ යෝජනාව පරාජයට පත් වී තිබිණි.

ජනමත විචාරණයට පෙර නැක්සලයිට් චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද විජය කුමාරතුංග ඇතුළු සියලු දෙනා පසු ව නිදහස් කරන ලදහ. ඔවුන්ට එරෙහි ව අඩු ම වශයෙන් චෝදනා ගොනු කිරීමක් හෝ සිදු වූයේ නැත. සිදු වූ එක ම දෙය ජනමත විචාරණය අවසන් වන තුරු ඔවුන් ඒ ඡන්ද ව්‍යාපාරයෙන් ඉවත් කර තැබීම පමණකි. ජේ.ආර්. ජයවර්ධන නැමැති දේශපාලනඥයාගේ අශික්ෂිත, අශීලාචාර දේශපාලනය එසේ විය.

මෙය මෙරට ඉතිහාසයේ පැවැති දූෂිත ම මැතිවරණයයි. ඒ බව මැතිවරණ කොමසාරිස්වරයාගේ වාර්තාවේ ද සැර බාල කර වුවත් ප්‍රකාශ කර තිබුණේ ය. මැතිවරණ කොමසාරිස්වරයාට මේ වාර්තාව නිකුත් කිරීමට සිදු වූයේ ජනමත විචාරණය පවත්වා අවුරුදු හතරකට පසු ව ය. විශේෂයෙන් ම ජනමත විචාරණයේ දී ඡන්දදායකයන් තමන්ගේ ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමෙන් පසු ව එය ඔසවාප්‍රසිද්ධියේ පෙන්වන ප්‍රවණතාවක් දක්නට ලැබීම පිළිබඳ ව මැතිවරණ කොමසාරිස්වරයා සිය වාර්තාවේ සඳහන් කර තිබිණි. මේ ඉන් කොටසකි.

‘…මෙම ඡන්ද පත්‍රිිකා මෙසේ පෙන්වීම නොදැනුවත්කමින් හෝ කුමන්ත්‍රණයක මාර්ගයෙන් සිදුවීමට නොහැකි නම්, එසේ වීමට තවත් හේතුවක් තිබේ. එනම් එය යමකුගේ අණසකට යටත් වීමට සිදුවී තිබීමයි. එය එසේ නොවන්නට ඡන්දදායකයන්ට අනිටු විපාකවලට මුහුණපෑමට සිදු වී තිබුණා විය හැකි ය. අවබෝධය මත ඡන්දය දීමට පොරොන්දු වීමෙන් ඡන්දය දීමට බල කරන තැනැත්තා සෑහීමට පත් කිරීමට නොහැකි වූවා විය හැකියි. ඇත්ත වශයෙන් ම ඡන්දය දීමට බල කරන තැනැත්තාට වුවමනා කරන ආකාරයට ඡන්දදායකයා ඡන්දය දෙන බවට සහතික වීම පිණිස ඡන්දදායකයා විසින් සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව තමන්ට පෙන්විය යුතු යැයි බල කර සිටියා විය හැකි ය. ඔවුන්ගේ එබඳු ඉල්ලීමක් කරතොත් මිස නැති නම් ඡන්දදායකයන් බහුල සංඛ්‍යාවක් විසින් ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා සිය කැමැත්තෙන් නොපෙන්වනු ඇත…’

මගේ පරම්පරාවේ බොහෝ දෙනාගේ ජීවිතවල ඉතා අප්‍රසන්න අමිහිරි අත්දැකීමක් ලෙස 1982 ඊනියා ජනමත විචාරණය සටහන් වී තිබේ. මෙය ඒ පිළිබඳ වූ ඉතා ම කෙටි සටහනක් පමණි. මෙහි සටහන් කරන ලද්දේ අත්‍යවශ්‍ය තොරතුරු කිහිපයක් පමණක් බවත් ජනමත විචාරණය ගැන පිටු දහසකට අධික උපාධි පර්යේෂණ නිබන්ධයකට තරම් තොරතුරු මා සතු ව තිබෙන බවත් ඉන් පසු ව එවැනි අත්දැකීමක් මගේ ජීවිත කාලය ඇතුළත කිසි දු මැතිවරණයක දී මෙරට ඡන්දදායකයන්ට විඳින්නට සිදු නොවූ බවත් සටහන් කළ යුතු ය.

ජේ.ආර් ජනමත විචාරණයෙන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ම යොදා ගෙන, ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමකි.

(උපුටා ගැනීම – ධර්ම ශ්‍රී කාරියවසම්ගේ මුහුණු පොතෙනි)