‘අප නැවත ජනවාරි 08 වැනිදා වෙත පැමිණ සිටිමු’ – රංජිත් හේනායකආරච්චි

සිරිසේනගේ සහ රාජපක්ෂගේ කුමන්ත්‍රණයකින් ඇරඹෙන අවුල රටම කළඹා විකාරරූපී රංගන ගණනාවක් පසුකර අද වනවිට විගඩමක් බවට පත්වෙමින් අවසන්ව ඇත. සමහරු දැන් කිරි බත් කති. ප්‍රීතියෙන් උද්දාමයට පත්ව ගී ගයා නටති. සිදුවී ඇති තත්වය ගැන අපට සතුටු නමුත් මේ උදාවී ඇති තත්ත්වය අපගේ නැත්නම් රටේ ජනයාගේ යහපත පිණිස හරවා ගැනීම දැන් ඇති බැරෑරුම්ම කාර්යයි. ඒ අන් කිසිවක් නිසා නොව මෙතෙක් සිදුවීම් සිදුව ඇත්තේ රටේ ජනතා වුවමනාවන් ඉටු කිරීමට වඩා බලය ලැබූ අයගේ සිතැඟි ඉටුකර ගැනීම පිණිස බැවිනි.

මගේ වැටහීම අනුව අප නැවත ළඟාවී ඇත්තේ 2015 ජනවාරි නමවෙනිදා තිබූ තත්ත්වයටයි. ජනවාරි 8 වැනිදාට ප්‍රථම තත්ත්වය වූයේ එදා සියලු බලවේග එක්ව නපුර දුරු කිරීමට එකට පෙළ ගැසී සිට ගැනීමයි. එසේ එක්ව සිට ගත්තේ රටේ පැවැති දුර්දාන්ත පාලනය පෙර පෙරලා නීතිය මත පාලනය, නැතිනම් නීතියේ ආධිපත්‍ය ඇති රටක්, දේශපාලනයක් රට තුළ ස්ථාපිත කර ගැනීම අරභයායි. එකල රටේ සිදු වූ අවනීතික මිනීමැරුම්,රාජ්‍ය දේපල යටිමඩි ගැසීම්, බලහත්කාරය නීතියට ඉහළින් පැවතීම, ආදී දූෂිත පාලනය අවසන් කර යහපාලනයක් රට තුළ ඇතිකර ගැනීම අරමුණු කරගෙනයි. ඒවාගේම වැරදි කළ අය නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව එම පෙළ ගැසීමේ ප්‍රධාන ඉල්ලීමක් ද විය.

එහි ප්‍රතිඵලය ජනවාරි 9 වනවිට අප ලබා ගත්තෙමු. නමුත් බලය හිමිකර ගන්නා අය යහපාලනයක් ඇති කරන බව සපථ කරමින් වසර තුනක්ම කල් මැරූ බව අප දන්නෙමු. බොහෝ බලපෑම් සිදු කිරීම් මත ස්වාධීන කොමිෂන් පත් කිරීම වැනි ඉතා අගනා දේද සිදු වූ නමුත් මේ බලය හිමිකර ගත් අය එදා කරන්නට තිබූ බොහෝ දෑ නොකළ බවද, ඒවායේ ප්‍රතිඵලයක් ලෙස මේ තත්ත්වය උදා වූ බවද නොරහසකි. එමෙන්ම දූෂණය මෙම බලාධිකාරියේද කොටසක් ලෙස ක්‍රියාත්මක වූ බවද නොරහසකි. මේ ගැන කියන්නේ නම් ඔවුන් කළ නොකළ දේ පිළිබඳ දිගු විස්තරයක් කළ හැක. ඒත් දැන් අප ඔවුන් නොකළ දේ මෙන්ම අප නොකළ දේ සහ අපට සිදුවූ දේ ගැන සිතීම වැදගත් යයි සිතමි.

සමාජ ක්‍රියාධරයන් වන අප එදා ජනවාරි 8 වෙනසේ කොටස්කරුවන් වනවා මෙන්ම මෙම පසුගිය සිරිසේන ඒකාධිපති වියරුවට එරෙහිව නැගී සිටීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුම දෙයක් බව මගේ වැටහීමයි. ඒනිසා ඒ වෙනුවෙන් එදා මෙන්ම අදද කැපවීම අගය කළ යුතුයි. දැන් අප නැවත ජනවාරි 9 වැනිදාට පැමිණ ඇත්තෙමු. මේ ජයග්‍රහණ නිසා ඔළුව තෝන්තු කර නොගෙන සිටීමට අප වගබලා ගත යුතු බව මගේ වැටහීමයි. ඒ වාගේම මේ ලැබූ ජයග්‍රහණය තුළින් උද්දාමයට පත් වී නැවතත් බලය අතට ගත් අය අපට යහපත උදාකර දෙනු ඇත යන සිහිනයට නැතිනම් මායාවක නොගිලී සිටීමටද අප වගබලා ගත යුතුය. බලය ගත් අයගේ උවමනාවන් සහ රටේ ජනතාව වන අපේ උවමනාවන් අතර වෙනසක් ඇති බව අප පැහැදිලිව වටහා ගෙන සිටිය යුතු වෙමු. ඒකාධිපති වියරුවට එරෙහිව දේශපාලන බලවේගයන් සමඟ අප අත්වැල් බැඳගෙන එකට වැඩ කළා මෙන්ම මෙයින් පසුවද මෙම බලවේග බලමුළු ගන්වමින් අපගේ වුවමනාවන් ඉටුකර ගැනීම සඳහා දේශපාලන බලය අතට ගත් අයට බලපෑම් කිරීම සඳහා බලවේගයක් ලෙස සංවිධානය වීම අද අපේ වගකීමයි. ඔවුන්ගේ හිතු මතයට විගඩම් කිරීමට ඉඩ නොදෙමින් ඔවුන් ලව්වා රටේ ප්‍රජාතන්ත්‍රවාදී වුවමනාවන් ඉටු කරවා ගැනීමට අප වගබලා ගත යුතු වන්නේය.

නීතිය මත ආධිපත්‍යය නැතිනම් නීතිය මත පාලනය ඇති කරගැනීම, අර්බුදයන්හිදී පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතයේදීද එම නීතිය මත පාලනය රටේ ක්‍රියාත්මක කොටසක් බවට පත් කිරීමට බලාධිකාරයට බල කළ යුතුය. එසේ නම් පසුගිය වසර 15 ක පමණ සිදුව ඇති දූෂණ හෙළිදරව් කරමින්, ඒ කාල වකවානුවේ සිදුව ඇති අපරාධයන් ගැන පරීක්ෂණ කර ඒවාට වගකිව යුතු පුද්ගලයන් ඔවුන්ගේ තරාතිරම, සමාජ තත්ත්වයන් නොසලකා නීතිය ඉදිරියට ගෙනඒම අත්‍යවශ්‍ය කාරණයකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්දය දීමට ඇති අයිතිය පමණක් නොව නීතිය සහ අයිතීන් ඉදිරියේ සෑම පුද්ගලයකුම එක හා සමාන බව මෙන්ම විවිද අයුරින් දේසපාලනයේ කොටස් කාරයන් වීමද බව අප වටහාගත යුතු වන්නෙමු.

විවිධ දේශපාලන හා සමාජමය ප්‍රශ්න උදෙසා ගොඩනැගෙන සමාජ බලවේගයන් උදාහරණ වශයෙන්, පරිසර දූෂණය පිළිබඳව, ස්ත්‍රී සහ ළමා අයිතීන්, රාජ්‍ය දේපළ අවභාවිතාවට එරෙහිව, වස විස නැති ආහාර වෙළඳපොලට එවීම, රාජ්‍ය ආයතනයන්හි පාලනයේ ඇති විනිවිදභාවය, ආදී මෙකී නොකී උවමනාවන් සඳහා පෙළ ගැසෙන සමාජ බලවේගයන් එක බලවේගයක් ලෙස ශක්තිමත් කරගැනීම මේ සියලු බලවේගයන්ගේ ප්‍රධාන උවමනාවක් වන යහපාලනයක් ඇති කර ගැනීමට ඉතා වැදගත් සාධකයකි. සිවිල් සමාජය යනු මෙවැනි බලවේගයන් එක්ව තම උවමනාවන් ඉටුකර ගැනීමට රාජ්‍ය සහ ආණ්ඩුව ලව්වා ඉටුකර ගැනීමට බලපෑම් කළ හැකි බලවේගයකි.

සිවිල් සමාජය යනුවෙන් මෙහිදී හැඳින්වෙන්නේ රටේ සියලු ජනයා නොව විවිධ සමාජ සහ දේශපාලන උවමනාවන් සඳහා දැනුවත්ව සංවිධානය වන ජන කණ්ඩායම්ය. එසේ එක් වී තම ප්‍රජාතන්ත්‍රවාදී සමාජ උවමනාවන් සඳහා, ඒ ඒ තත්වයන්ට සහ ඒ ඒ කන්ඩායම්වලට අනුව ඒවා වෙනස් වුවත්, පෙනී සිටින සහ බලපෑම් කරන ඉල්ලීම් කරන සමාජ කණ්ඩායම්ය. මෙම කණ්ඩායම් රටේ පවතින ජීවන වියදම, පරිසර දුෂණයට එරෙහිව, දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට, සුළු ජන කණ්ඩායම් අයිතීන් තහවුරු කර ගැනීමට, බලය අවභාවිතාවට එරෙහිව, ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන්, ස්ත්‍රී ළමා අයිතීන් ආරක්ෂා කිරීමට, ආදී මෙකී නොකී කාරණා සම්බන්ධයෙන් සංවිධානය වූ සංවිධාන විය හැක. මෙවැනි විවිධ තලයේ සංවිධාන එකට එක්වූ පොදු සිවිල් සමාජය තම ඉල්ලීම්වල මහා පරිමාණය ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කර යහපාලනයක් ඇති කර ගැනීම සඳහා පෙනී සිටින බලවේගයක් බවට පත්කර ගත යුතුය. එම බලවේගයන් විසින් රාජ්‍ය බලයට කරන තෙරපුම තුළින් තම පොදු අයිතීන් දිනාගැනීමට වැඩ කිරීම සිවිල් සමාජයේ වගකීමයි. එසේ නොමැතිව දේශපාලඥයන් විසින් තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම දෙනතුරු බලා සිටී නම්, ඇත්ත වශයෙන්ම ප්‍රශ්නවලට විසඳුම් දිය හැක්කේ මෙන්ම දියයුතු දේශපාලනය වුවද, අපට නැවත නැවතත් එකම ආකාරයේ කලකිරීම්වලට මුහුණ දීමට සිදුවනු නොඅනුමානය. ප්‍රජාතන්ත්‍රවාදය යනු ඡන්දය පාවිච්චි කිරීමක් පමණක් නොවී පාලන බලය මෙහෙයවීමේ කොටස්කරුවන් විය හැක්කේ එසේ දැනුවත්ව සංවිධානය වන සිවිල් සමාජයකට පමණි

අප වසර තුනකට පසුව නැවතත් දැන් ළඟාවී ඇත්තේ 2015 ජනවාරි 09 වැනිදාට බව අපි අමතක නොකළ යුතු වෙමු. රාජපක්ෂ බලය පෙරළා දැමුවා වුවත් එය සම්පූර්ණයෙන් අවසන් නොකළ බව පසුගිය දින පනස් ගණනක් දිගටම පෙන්නුම් කළේය. සිවිල් සමාජය එදා ජනවාරි 09 වැනිදාට පසු දිගින් දිගට බලවේගයක් ලෙස ක්‍රියාත්මක නොවීමේ ඵළවිපාක පසුගිය දිනවල අප අත් වින්දෙමු. වැරදි කළවුන් නීතිය ඉදිරියට ගෙනැවිත් ඔවුන් නීතියේ රැහැනට අසු කරන තුරු ඔවුන් නැවත නැවතත් බලය ලබා ගැනීමේ ප්‍රයත්නයන් අත් නොහරින බව පැහැදිලිව දුටුවෙමු. එසේනම් දැන් සිවිල් සමාජයේ වගකීම වන්නේ නීතියේ ආධිපත්‍ය රට තුළ ඇති කිරීම සඳහා පසුගිය වකවානුවේ වැරදි කළවුන් සියලු දෙනා නීතිය ඉදිරියට ගෙන ඒමට දැන් බලයේ සිටින වගකිවයුත්තන්ට බලකර කියා සිටීමයි. එසේ නොමැති නම් පසුගිය වසර තුන තුල සිදුවූවාක් මෙන් නැවතත් මොවුන් කල් මරමින් සිට මෙම ප්‍රතිගාමී බලවේගවලට නැවත බලය ඇල්ලීමට ඉඩ හරින බව නොඅනුමානය. එනිසා සිවිල් සමාජයක් වශයෙන්, දැනුවත් පුරවැසියන් වශයෙන් එකට එක්වී මෙම දුර්දාන්ත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට පෙරමුණ ගැනීම අපේ යුතුකමයි. ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරගත හැක්කේ දේශපාලන බලඅධිකාරය සමග සිවිල් ජනබලවේග නිරන්තරයෙන් කරන කේවල් කිරීම තුලින් පමනි. එසේ කෙවල් කළ හැක්කේ ශක්තිමත් සිවිල් සමාජයක් ඇත්නම් පමනි.

(LNW)