36 වැනි වියැති සුපිරි නිළි ප්‍රියංකා චොප්රා 26 වැනි වියැති නික් ජෝනාස් සමග විවාහ වෙයි – (ඡායාරූප)

ඉන්දියානු සිනමාවේ අතිශය ජනප්‍රිය නළු නිළි යුවළක වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං අතර විවාහ උත්සවය මෙයට සති දෙකකට පෙර පැවැති අතර මේ සතියේ ද එවැනිම වර්ණවත් විවාහ උත්සවයකින් බොලිවුඩය ඒකාලෝක වනු දැකිය හැකි විය.

මෙම විවාහය සිදු වූයේ තවත් සුපිරි නිළියක වන ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස් අතර ය. නික් ජෝනාස් (නිකලස් ජෙරී ජෝනාස්) ද අතිශය ජනප්‍රිය ඇමෙරිකානු කලා ශිල්පියෙකි. ඔහු සංගීත ක්‍ෂේත්‍රයේ විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින කෙනෙකි. ප්‍රියංකා මේ වනවිට 36 වැනි වියෙහි පසුවන අතර නික් ගේ වයස අවුරුදු 26 කි. මෙය ද ඔවුන්ගේ ප්‍රේම කතාවට විශාල අවධානයක් හිමි වීමට එක් හේතුවක් විය.

ප්‍රියංකා නික් සමඟ හාද වීමට පෙර ඇයගේ ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ගැනම කටකතා පැතිරිණි. සුපිරි නළුවන් වන ආක්ෂේ කුමාර්, ෂාරුක් ඛාන්, රන්බීර් කපූර්, ෂහීඩ් කපූර් වැනි අය සහ ඇය අතර පැවැති සබඳතා ගැන විවිධාකාරයේ කතාන්දර පැතිරුණු බව රහසක් නොවේ.

ප්‍රියංකා සහ නික් විවාහ ගිවිසගෙන තිබුණේ පසුගිය අගෝස්තු මාසයේය. කෙසේ නමුත් පසුගිය සතියේ දින ගණනක් පුරා සිය විවාහ උත්සවය ඉන්දියාවේදී පැවැත්වීමට ඔවුහු පියවර ගත්හ. ප්‍රියංකා හින්දු ආගමික තරුණියක වන අතර නික් ක්‍රිස්තියානි ආගමට අයත් කෙනෙකි. මේ නිසා මෙම ආගම් දෙකේම සම්ප්‍රදායන් අනුව උත්සව දෙකක් පැවැත්විණි. මෙම උත්සව පවත්වා තිබුණේ රාජස්තානයේ ජෝද්පූර්හි පිහිටා ඇති උමේද් භවන් නැමැති දැවැන්ත මාලිගයේ ය.

එය මේ වනවිට සුපිරි පන්නයේ හෝටලයකි. මෙවැනි උත්සවයක් පැවැත්වීම සඳහා එක් රැයකට එහි අය කරන ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 60,000 ක් බව ද සඳහන් වේ. එය ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි දස ලක්ෂයකට ආසන්න මුදලකි. කාමර 350කට ආසන්න ගණනකින් සමන්විත මෙම දැවැන්ත මාලිගය නම් කර ඇත්තේ අතීතයේ එහි විසූ උමේද් සිං නමැති මහරාජාගේ නමිනි. වර්තමානයෙහි එය අයත් වන්නේ මෙම මහරාජා ගේ මුනුබුරකුට ය.

ප්‍රියංකා සහ නික් අතර විවාහ උත්සවයේදී අඩි 18ක් උස කේක් ගෙඩියක් කැපූ බවට ද අපූරු පුවතක් වාර්තා වී තිබිණි. ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව පැවැති විවාහ උත්සවයේ කටයුතු මෙහෙයවනු ලැබ ඇත්තේ පූජකවරයකු වන නික් ගේ පියා, පෝල් විසිනි. හින්දු චාරිත්‍ර අනුව පැවැති උත්සවය ද බෙහෙවින් ආකර්ෂණීය එකක් වූ බව වාර්තා වන අතර එම උත්සවය සඳහා මනාලයා පැමිණ ඇත්තේ එම සම්ප්‍රදායන්ට අනුව අසකු පිට නැඟී කඩුවක් ද අතින් ගෙනය. ඔහු සමඟ ඔහුගේ සමීපතමයන් නර්තනයෙහි යෙදෙමින් උත්සව ශාලාව වෙත පැමිණීම ද මෙම චාරිත්‍රයෙහි අංගයකි. නික්ට මෙය තරමක් ආගන්තුක චාරිත්‍රයක් වුවද ඔහු ඉතා ආසාවෙන් සහ උනන්දුවෙන් එයට සහභාගි වී ඇති බව සඳහන් වේ. නව යුවළ ඇතකු පිට නැඟී ‘මාලිගය’ වටා ගමන් කර ඇති බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

විවාහ උත්සවය සඳහා ආහාර පිළියෙල කිරීමට විශේෂ කෝකියන් කණ්ඩායමක් කුවේට් සහ ඩුබායි දේශයන්හි සිට ගෙන්වා ඇති බව ද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. නික් ගේ මව වන ඩෙනිස් ජෝනාස් විසින් ප්‍රියංකාට තෑගි දෙන ලද අගනා කරාබු යුගලක් සම්බන්ධයෙන් ද විශේෂයෙන් සඳහන්ව තිබිණි. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 80,000කට ආසන්න බව සඳහන් විය. ලංකා මුදලින් මෙය රුපියල් කෝටි එකහමාරකට කිට්ටු ය. විවාහ උත්සවයේ දී ප්‍රියංකා විසින් අඳින ලද මංගල ඇඳුමෙහි වේල් පට අඩි 75 ක දිගින් යුතු වූ බවද පැවසේ. එය ඔසවා ගෙන යෑම සඳහා වෙනම පිරිමින් කණ්ඩායමක් යොදවා තිබී ඇත.

මෙයට මාස කිහිපයකට පෙර මෙගන් මාර්කල් හැරී කුමරු සමඟ විවාහ වූ අවස්ථාවේ ඇය ද දිගු වේල්පටක් සහිත මංගල ඇඳුමකින් සැරසී සිටියාය. නමුත් එම වේල්පට දික් වූයේ අඩි 16ක් පමණි. මෙගන් මාර්කල් සහ ප්‍රියංකා හොඳ මිතුරියන් දෙදෙනකු වන අතර මෙගන් ද විවාහයට පෙර ඇමෙරිකානු ටෙලිනාටකවල රඟපා තිබිණි. මෙගන් සහ හැරී දෙදෙනාගේ විවාහ උත්සවයට ප්‍රියංකා ද සහභාගි වූ නමුත් ප්‍රියංකාගේ විවාහ උත්සවයට මෙගන් සහභාගි වූයේ නැත. මේ වනවිට ඇය ගැබ්බරව සිටීම ද එයට හේතුවක් වීමට පිළිවන. එමෙන්ම දැන් ඇය රාජකීය පවුලේ සාමාජිකාවක වීමද එයට බලපාන්නට ඇතැයි ඇතැමුන් අනුමාන කර තිබිණි.

කෙසේ නමුත් පසුගිය කාලයේ ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍ය මාලාවක්් වූ ‘ගේම් ඔෆ් තේ‍රා්න්ස්’  නාටකයෙහි රඟ පෑ සොෆී ටර්නර් මෙම විවාහ උත්සවයට සහභාගි වී සිටි අතර ඇය ද කාගේත් ආකර්ෂණය දිනාගත් ආරාධිතයකු බවට පත්ව තිබිණි. ළඟදීම ප්‍රියංකා සහ සොෆී ඥාතීන් බවට පත් වීමට ද නියමිතය. මන්ද යත් නික් ගේ සොහොයුරු ජෝ ජෝනාස් සහ සොෆී ටර්නර් ලබන වසරේ විවාහ වීමට සිටින බැවිනි.

දින කිහිපයක් පුරා පැවැති විවාහ උත්සව අවස්ථාවන්හි එක් අවස්ථාවක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද සහභාගි වී තිබිණි. ප්‍රියංකා සහ නික් තම විවාහය හඳුන්වන්නේ සංස්කෘතීන් දෙකක එක් වීමක් හැටියටය. මංගල උත්සව මාලාව පුරා ද මෙම සංස්කෘතික සංකලනය මොනවට පැහැදිලි වූ බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.

Image result for ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස්

Image result for ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස්Image result for ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස්

Image result for ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස්

Image result for ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස්Related image

Image result for ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස්Image result for ප්‍රියංකා චොප්රා සහ නික් ජෝනාස්