විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කල යුතුයි – රනිල් වික්‍රමසිංහ

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතා පරමාධිපත්‍ය සුරකින ශක්තිමත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

කොළඹ ගාලු මුව‍ෙදාර හෝටලයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෘත්තිකයෝ සංවිධානයේ සංවාදයකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කෙළේය. විද්වත් වෘත්තිකයකන් විශාල පිරිසක් සහභාගි වූ මෙම හමුව අමතමින් වැඩිදුරටත් කරුණු දැක්වූ එජාප නායකයා ගතවූ වසර තුනහමාරක කාල පරිච්ඡේදය තුළ ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීමට ගත හැකි උපරිම පියවර යහපාලන ආණ්ඩුවෙන් ගනු ලැබුවේ විවිධ බාධක හා අභියෝග මධ්‍යයේ බවද ප්‍රකාශ කෙළේය. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට කථානායකවරයා කළ කැපවීම අගය කළ රනිල් වික්‍රමසිංහ මහතා
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට එතුමා කළ කැපවීම අධිකරණ නියෝග දෙකකින් තහවුරු වී ඇති බවද පෙන්වා දුන්නේය.

2015 ජනවාරි 8 වැනිදායින් පසුව මෙරට කිසිදු විනිශ්චයකාරයකුට බලපෑම් නොකිරීම පිළිබඳව තමන් ආඩම්බර වන බව පැවැසූ එජාප නායකයා පෙරේදා (4දා) පැවැති ශ්‍රී ලනිප සම්මේලනයේදී මහ නායක හිමිවරුන්ගේ කාර්ය භාරය විහාරධිපති හිමිවරුන් කරන්නේ යැයි ජනාධිපතිවරයා එල්ල කළ චෝදනාව බැහැර කරමින් මෙය මහ නායක හිමිවරුන්ගේ හෝ විහාරාධිපති හිමිවරුන්ගේ ප්‍රශ්නයක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වීම නිසා ඇති වූ ප්‍රශ්නයක් බවද පෙන්වා දුන්නේය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය. අපි ඔක්කොම එකතු වෙලා ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ දූෂණය, වංචාව, නාස්තිය තුරන් කර ප්‍රජාතන්ත්‍රාවාදය, සංවර්ධනය, සාමය හා සංහිඳියාව රට තුළ තහවුරු කිරීමටයි.

ඊයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ජනාධිපතිවරයා එම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා හෝ බණ්ඩාරනායක මැතිනිය ගැන කතා කළේ නෑ. එතුමා කතා කළේ රනිල් වික්‍රමසිංහ ගැනයි. එතුමා කීවා මම දේශපාලන කරුමයක් කියලා. මට අවලාද නැඟුවා. මට චෝදනා කළා. මට නිග්‍රහ කළා. මට අපහාස කළා. මට ‍ෙදාස් කිව්වා. මට බැන්නා. මම ඒ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. මම මගේ සංස්කෘතිය අනුව පිළිතුරක් දෙනවා. මට අනෙක් අයගේ සංස්කෘතිය ගැන කියන්න අවශ්‍ය නැහැ. සංයුත්ත නිකායේ අක්කෝස සූත්‍රයේ ගාථාවක් උපුටා දක්වමින් මම මගේ සංස්කෘතියෙන් පිළිතුරු දෙනවා.

බුදු රාජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වසන කාලයේදී අක්කෝස භාරද්වාජ බමුණා ගිහින් උන්වහන්සේ මුණ ගැහුණා. අක්කෝස භාරද්වාජ බමුණා බුදුරාජාණන් වහන්සේට බැන්නා. ‍ෙදාස් කිව්වා. නිග්‍රහ කළා. අපහාස කළා. අවලාද නැඟුවා. ඒ සියල්ලටම සවන් දුන් බුදුන් වහන්සේ බමුණාට මෙසේ දේශනා කළා. ‘බමුණා, ඔබට මිතුරන් නෑදෑයන් දන්න පිරිස් හිතවතුන් ඉන්නවාද? ඔව්. මට ඉන්නවා යැයි බමුණ පිළිතුරු දුන්නා. ඔවුන් ඔබේ නිවෙසට පැමිණෙනවාද? ඔව්, පැමිණෙනවා යැයි බමුණා පැවැසුවා. ඔබ ඔවුන්ට ආහාරපානවලින් සංග්‍රහ කරනවාද?

ඔව්, මම ඔවුන්ට ආහාරපානවලින් සංග්‍රහ කරනවා. ඒ කවුරුන් හෝ ඒ ආහාරපාන අනුභව නොකරයි නම්, සංග්‍රහ පිළිගන්නේ නැතිනම් ඒවා අයිති වන්නේ කාටදැයි බුදුන් වහන්සේ බමුණාගෙන් පෙරළා ප්‍රශ්න කළා. ඒවා අයිති වෙන්නේ මට යැයි බමුණා පිළිතුරු දුන්නා. එය එසේ නම් ඔබගේ බැන වැදීම්, අවලාද අපහාස හා නිග්‍රහ මා පිළිගන්නේ නැතැයි බුදුන් වහන්සේ එහිදී කියා සිටියා. ඒ වගේම මට ඔබ අවලාද නැඟුවා. මම ඔබට අවලාද නැඟුවේ නැහැ. මට ‍ෙදාස් කීවා. මා ‍ෙදාස් කීවේ නැහැ. මට නිග්‍රහ කළා. මා නිග්‍රහ කළේ නැහැ. මට නින්දා කළා. මම නින්දා කළේ නැහැ. මට අපහාස කළා. මම අපහාස කළේ නැහැ. මට කරපු සියල්ල බමුණ ඔබට භාරයි.’

ව්‍යවස්ථාව අනුව 225ක් බහුතරය හිටියත් රනිල්ට අගමැතිකම දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කියා තිබෙනවා. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඊනියා අගමැතිටයි කැබිනට් මණ්ඩලයටයි එරෙහිව අපි අධිකරණයට ගියේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ජනතා පරමාධිපත්‍යයත් ආරක්ෂා කරගන්නයි. එහිදී කථානායක කරු ජයසූරිය මැතිතුමා තම වගකීම නිසි ලෙස ඉටු කළා.