රවීන්ද්‍ර විජේගුණරත්නගේ නීතිඥවරයා අධිකරණය තුළදී නීතිඥ අචලා සෙනෙවිරත්නගෙන් සමාව ගනී

නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසුව අතුරුදන් කෙරුණු තරුණයින් ඇතුළු 11දෙනෙකු සම්බන්ධයෙන් නඩු විභාගය පසුගිය  (05)දින පැවති අතර, එහිදී එම නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වෙත ආරක්ෂාව ලබාදෙමින් රටින් පිට කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වූ හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම යටතේ අත්අඩංගුවට ගෙන සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න  වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනවිය NGO මුදලින් නඩුව කතා කරන බවට ප්‍රකාශයක් කිරීමත් සමඟ නීතිඥවරිය අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කරමින් එවැනි චෝදනාවක් ඇත්නම් විවෘත අධිකරණය ඉදිරියේ එම චෝදනාව ඔප්පු කරන ලෙසත් එලෙස කළ නොහැකි නම් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා එම ප්‍රකාශය ඉවත් කරගන්නා ලෙසත් ප්‍රකාශ කිරීමෙන් පසුව ජනාධිපති නීතිඥවරයා විසින් එම ප්‍රකාශයට අධිකරණය ඉදිරියේ ඇයගෙන් සමාව ඉල්ලා සිටින ලදි.

එහිදී නීතිඥ අචලා සෙනෙවිරත්න වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කරන ලදි.  ” ගරු ස්වාමීනි, මම මේ අධිකරණයේ වසර එකොළහක් පුරා ගෞරවනීය ලෙස සේවය කරනවා. වසර නමයක් පුරා මම මේ අම්මලා වෙනුවෙන් මෙම නඩුවට පෙනී ඉන්නවා. මට දිගින් දිගටම මරණ තර්ජන ආවා. තව කොතෙකුත් බලපෑම් ආවා. ඒ සියල්ල සම්බන්ධයෙන් නඩු විභාග අධිකරණයන්හි මේවනවිටත් විභාග වෙනවා. මේ පැහැරගෙන ගියේ එල්ටීටීඊ  ත්‍රස්තවාදීන් නෙමෙයි. මේ පැහැරගෙන ගිහින් කප්පම් අරගෙන අතුරුදන් කරල තියෙන්නෙ අහිංසක දරුවන්. දෙමළ අම්මලගෙ වගේම සිංහල අම්මලගෙ, රණවිරුවන්ගේ දරුවනුත් මෙතන ඉන්නවා. මම මෙම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාට බොහෝම ගෞරව කරපු කෙනෙක්. නමුත් මම මේ ගරු අධිකරණයෙන් අහන්න කැමතියි මට මොන පදනමකින්ද මෙහෙම චෝදනාවක් කළේ සහ මම මොන NGO එකටද සම්බන්ධ කියල මේ ගරු අධිකරණය ඉදිරියේම ඔප්පු කරල පෙන්වන්න කියල. මම මෙතුමාගේ ප්‍රකාශය මෙම නඩුකරයට ඇතුළත් කරන ලෙස ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මොකද මම මේ ගරු අධිකරණයේ ස්වාධීන නිලධාරියෙක්. මේ NGO කතා කියලා නැති කරන්න හදන්නෙ සහ බලපෑම් කරන්නෙ මේ ස්වාධීන අධිකරණ නිලධාරී සේවයට. මම මෙතන නැති දවසක හරි කාන්තාවකට මෙම අධිකරණය තුළ මෙවැනි අභූත චෝදනා නොඑන්නයි මම මේ කාරණය නඩුවට ඇතුළත් කරන්න කියලා ඉල්ලා සිටින්නේ. මේ කරපු චෝදනාවට මෙම විවෘත අධිකරණය තුළදීම සමාව ගැනීම සහ එය ඉවත් කර ගැනීම කළ යුතුයි. අපි අහන්න යන්නේ නෑ මෙතුමා මොන NGO වලින්ද මුදල් ලබා ගන්නේ කියලා. නමුත් ගරු අධිකරණයට වගේම මෙතන ඉන්න සියලුම ජනමාධ්‍යවේදීන්ට, සාමාන්‍ය මිනිස්සුන්ට වැටහෙන්න ඇති කවුද අපරාධකරුවන් ආරක්ෂා කරන්න සහ ඒ වෙනුවෙන් NGO හෝ වෙනයම් ආයතන වලින් සල්ලි ගන්නේ කියලා.”

මෙම ප්‍රකාශයෙන් පසුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශයක් කරමින් මෙවැනි ආකරයේ චෝදනා සහ බලපෑම් කිරීම් මෙම නඩුකරය තුළ සිදු නොවී නඩුව කෙරෙහි මූලිකව අවධානය යොමු විය යුතු බව දන්වා සිටි අතර, ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න ඉන් අනතුරුව සිය ප්‍රකාශය ඒ සම්බන්ධව කරමින් තමන් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත්, එය ඉවත් කරගන්නා මෙන්ම එම ප්‍රකාශය තමන්ගේ කනිෂ්ඨයෙකු අමතා කළ දෙයක් ලෙසත් සාමාන්‍ය කරුණක් ලෙස අමතක කර දමන ලෙසත් ප්‍රකාශ කරන ලදි.

(තොරතුරු – කසුන් පුස්වැල්ල)