ජනපතිගේ තීරණ සියල්ල වැරදියි..! මෛත්‍රී-මහින්ද, රනිල් සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි – විග්නේශ්වරන්

ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කොට මහින්ද මහතා පත් කිරීමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීන්දුවත් ඉන් අනතුරුව මේ දිනවල සිදුවන සියලු ක්‍රියාදාමයනුත් ව්‍යවස්ථා විරෝධී බව හිටපු නීතිපතිවරයකු වන උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් වවුනියාවේදී පැවැසීය.

පාර්ලිමේන්තුව තුළ හා අගමැති පත්කිරීම ඇතුළු දකුණේ දේශපාලන ක්‍රියාව තුළ උද්ගතව පවතින ගැටලුව ව්‍යවස්ථාවට පටහැනි බවත් එය විසදාගත යුත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකට එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම තුළින් බවත් පැවැසූ විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

උද්ගතව ඇති ගැටලුව ඉක්මනින් විසදාගත යුතුයි. එය එසේ නොවන්නට රට දිනෙන් දිනම අරාජිකභාවයට පත්වී විනාශය කරා ගමන් කරනවා.

දකුණේ දේශපාලනයේදී පමණක් නොව උතුරේ දේශපාලනයේදීද බොහෝ විනාශයන් සිදුවුණා. වරක් මේ වවුනියාව නගර සභාවේ පිරිසක් තමන්ගේ රුව පඹයකුගේ අනුරුවකට තනා එයට ගිනි තැබුවා. තමන්ට ගිනි තැබුවත් නගර සභාව යටතේ විශාල සේවාවක් අපේක්‍ෂාවෙන් සිටින ජනතාවට ගිනි නොතබන ලෙසත් දෙමළ දේශපාලන ප්‍රතිපත්තිවලට ගිනි නොතබන ලෙසත් නගර සභාවේ මෙන්ම උතුරේ සෑම දේශපාලනඥයකුගෙන්ම ඉල්ලා සිටිනවා.

(මව්බිම)