19 වන සංශෝධන අහෝසි කිරීමට කතා කල මහින්ද සහ ගෝඨාභයට ජනපති සිරිසේනගෙන් අතුල් පහරක්.

පසුගිය දින කිහිපය තුල මහින්ද රාජපක්ෂ මෙන්ම ගෝඨාභය , ලක්ෂ්මන් යාපා සහ ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න ඇතුළු රාජපක්ෂ කදවුරේ බොහෝ පිරිසක් 19 වන සංශෝදනය අහෝසි කිරීම සම්බන්දයෙන් විවිධ අදහස්  පලකර තිබුණි. ඒ සම්බන්දයෙන් අද (06) ජනපති සිරිසේන සිය මතය ප්‍රකාශ කරමින් එම සියලු දෙනාට අතුල් පහරක් එල්ලකර තිබේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නෙ 19 වන සංශෝදනය යුගයේ අවශ්‍යතාවයක් බවත් එය දශක තුනකට අධික කාලයක් මෙරට ප්‍රජාතන්තවාදය සම්බන්දයෙන් පැවති ගැටළු විසදීම සදහා ගෙනආ සාධනීය ව්‍යවස්ථා සංශෝදනයක් බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා, සඳහන් කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයේ හරය සහ ඉන් ඇති කරනු ලැබු ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් එය තවදුරටත් පෝෂණය කරන බවයි. ඉන් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල රැසක් මෙරට සමාජයට ලැබී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

19 වන සංශෝධනයේ කාර්යමය දුර්වලතා තිබේ නම් දේශපාලන වශයෙන් ගැටලුසහගත වන්නා වූ කරුණුවලට අදාළ සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට කැප වී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ලැබූ ජයග්‍රහණයක් වන අතර අප මාතෘ භූමිය නූතන යුගයකට ගෙනයාම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව ද ජනාධිපතිවරයා පවසයි. එම නිවේදනයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය සම්මත කර ගන්නා ලද්දේ දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා බවයි.