මහින්දගේ අපෑලට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු නැහැ – ගැටළුව ජනපති සිරිසේන විනිසුරුවරුන් පත්නොකිරීම.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කිරීම සහ කැබිනට් මණ්ඩලයේ කටයුතු වාරණයට ලක් කරමින් අභියාචනාධිකරණය ලබාදුන් රීට් ආඥාවට එරෙහිව ඊයේ (05) මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ඇපෑලක් ගොනුකලද එය විභාග කිරීම සදහා විනිසුරුවරුන් නොමැති තත්වයක් උද්ගතවී ඇත. මහින්ද පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ ඇපෑල විභාගයට ගැනීමට කල් දැමීමට මෙම තත්ත්වය හේතු වී තිබේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය ඉදිරිපත් කළ ඇපෑල විභාගයට ගැනීමට සිදුවන්නේ හෙට පෙත්සම් විභාගය අවසන් වීමෙන් පසුවයි.

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය තුළ සිටිය හැකි උපරිම විනිසුරුවරුන් ප්‍රමාණය අගවිනිසුරුවරයාද සමග 11 කි. එසේ වුවද මේ වනවිට කටයුතු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 9 දෙනෙකු පමණි. ඒ අතරින් ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය නුදුරේදීම විශ්‍රාම යාමට නියමිත අතර ඒ අනුව ඇය මේ වනවිට විනිශ්චය කටයුතුවලින් වැලකී සිටින බවයි ඊයේ පාර්ලිමේන්තුවෙදී විජිත හේරත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එවිට ඉතිරි වන්නේ එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පමණි.

ව්‍යවස්ථාදායක සභාව විසින් පුරප්පාඩු වී ඇති විනිසුරු තනතුරු දෙක සඳහා තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන් දෙදෙනා නිර්දේශ කර ඇති අතර එම නිර්දේශ ජනාධිපතිවරයා වෙත යවා ඇත්තේ පසුගිය ඔක්තෝබර් 25 වැනිදාය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරන අතර ඊට අදාල නම් නිර්දේශ කරන්නේ ව්‍යවස්ථාදායක සභාව මගිනි. කෙසේ වෙතත් රටේ පවතින අර්බුද හමුවේ අධිකරණය ද විශේෂයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ අතිශය තීරණාත්මකය. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාව සිය නිර්දේශ ලබා දී තිබියදී පවා ජනාධිපතිවරයා ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම ගැටලුසහගතය.

මාස එකහමාරකට ආසන්න කාලයක් ගතවී තිබියදී පවා ජනාධිපතිවරයා විසින් ඔවුන්ගේ දිවුරුම් දීම ප්‍රමාද කරමින් සිටින අතර ඔවුන් දෙදෙනා දිවුරුම් දී සිටියේ නම් මහින්ද පාර්ශ්වය ඉදිරිපත් කළ ඇපෑල ද මේ වනවිට විභාගයට ගැනීමට හැකි වනු ඇත.