‘ජර්මනියේ ඈඳා නම ඈඳා ගනිමින් කරුණු විකෘති කරන්න එපා’ – ‌‌ජර්මන් තානාපති මෛත්‍රීට කියයි.

ජර්මනියේ මාස 06 ක පමණ කාලයක් ආණ්ඩුවක් නොමැතිව ජර්මන් චාන්සලර්වරිය රට ගෙනගිය බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට ජර්මානු තානාපතිවරයා සිය අප්‍රසාදය පළකර තිබෙනවා. එමෙන්ම ජර්මානු තානාපතිවරයා ජනාධිපතිවරයා ‌වෙත දන්වා ඇත්තේ සිය රටේ නම ඈඳා ගනිමින්, ජනාධිපතිවරයා සිය වාසියට කරුණු විකෘති කර ප්‍රකාශ කරන බවයි.
පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යම් යම් අර්බුද හේතුවෙන් ආණ්ඩුවක් නොමැති අවස්ථා පිළිබඳව ලෝකයේ වෙනත් රටවල ද ඔ්නෑතරම් උදාහරණ ඇති බවයි. මෙම වසර මුලදී ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ද එවැනි අර්බුදයකට මුහුණ දුන් බවත් ඇය නව ආණ්ඩුවක් සඳහා අවශ්‍ය බහුතරය සකස් කර ගැනීම සඳහා මාස 06 කට වැඩි කාලයක් ගත් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එහෙත් ජර්මානු තානාපතිවරයා ප්‍රකාශ කරන්නේ, එය කරුණු හරිහැටි නොදැන සිය වාසිය සඳහා සිදුකළ ප්‍රකාශයක් බවයි. නව මැතිවරණයකින් පසුව ජර්මනියේ ඇති වූ තත්වය හා ශ්‍රී ලංකාවේ සිදු වූ ව්‍යවස්ථාමය අර්බුදය කිසිසේත්ම සමාන නොවන බවත්, ජර්මනියේ ඇති වූ තත්වය උදාහරණයට ගනිමින් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් සිදු වූ ව්‍යවස්ථාමය අර්බුදය සාධාරණීකරණය කළ නොහැකි බවත් ඔහු ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.
ඔහු වැඩිදුරටත් දන්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ වාසියට ජර්මනියේ නම ඈඳා ගනිමින් කරුණු විකෘති නොකරන ලෙසයි.
ජර්මන් තානාපතිවරයා මේ සම්බන්ධයෙන් මෙරට රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කර ඇති අතර ඔවුන් සමග පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත් ඒ් සඳහා තවමත් ඔහුට අවස්ථාව ලැබී නොමැත.