breaking news : මහින්දට අගමැති ධුරය දැරීමට නිත්‍යනුකූල හිමිකමක් නැහැ – අභියාචනාධිකරණය තීන්දු කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කළේය. නිකුත් කර තිබෙන තහනම් නියෝගය නඩු විභාගය අවසන් වනතුරු බලපාන බවද නියෝගයේ සඳහන් විය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණයෙන් අද (03) නොතීසි නිකුත් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කල රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.

අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) සියලු කරුණු දැක්වීම අවසන් කල අතර තීන්දුව සවස 3.00ට පුකාශයට පත් කරමින්   අභියාචනාධිකරණය මෙම  තීන්දුව ලබා දෙන ලදී. පෙත්සම  අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව පුකාශයට පත් කෙරිනී.

විපක්ෂයේ බහුතරයක් එනම් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 122 දෙදෙනෙකු, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ප්‍රමුඛ රජය කෙරෙහි විශ්වාසයක් නොමැති බවට අවස්ථා දෙකකදී විශ්වාසභංග යෝජනා සම්මත කර තිබියදී ඔවුන් එම ධූරවල කටයුතු කරනුයේ කුමන බලයක් යටතේදැයි ලබන 12 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දන්වන ලෙසට නොතිසි නියෝගය නිකුත් කරමින් විනිසුරු මඩුල්ල මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වගඋත්තරකරුවන් 49 දෙනාට නියෝග කළහ.

තම අධිකරණය, දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු මනාව අධ්‍යනය කළ බවත් පහසුකමේ සමබරතාව මූලධර්මය අනුව වගඋත්තරකරුවන් එම ධූරවල කටයුතු කිරීමෙන් වැඩි අගතියක් සිදුවනුයේ පෙත්සම්කාර පාර්ශවයට බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ ය.

ජාතික වැදගත්මක් ඇති කරුණක් ලෙස පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ කරුණු පැවතිය හැකි බව සඳහන් කළ විනිසුරු මඩුල්ල, අතුරු තහනම් නියෝගයක් නිකුත් කර දෙපාර්ශවයේම කරුණු විමසා අවසන් නියෝගයක් ලබාදීම සුදුසු බව පෙනී යන බැවින් තම අධිකරණය එම නියෝගය නිකුත් කරන බව කියා සිටියේ ය.

⁣එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනු කර ඇත. මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.