මෛත්‍රි, මහින්ද, රනිල් මුහුණදී ඇති තිත්තම ඇත්ත මෙන්න..!

සිරිසේන ජනාධිපති විසින් පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීම සඳහා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනීමට තීන්දු කිරීමත් සමඟම රනිල් පිලෙත් මෛත්‍රි – මහින්ද පිලෙත් දේශපාලන උණුසුම තීව්‍ර වී ඇත. බහුතරයක් නැති බව දැක්වීමට මෛත්‍රි සහ මහින්ද යන දෙදෙනාගේම පිල දුර්මුඛ කරවන්නට රනිල් ඇතුළු විපක්ෂ බලමුළුව උපරිම වැර යොදා පහර දෙන තැනකය.

“මෛත්‍රි මහත්තයා බහුතරය අරන් දෙනවා කිව්වට එයාටත් ඒ වෙනුවෙන් වෙහෙස වුණු අයටත් ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ මහින්ද මහත්තයට බහුතරය නැති බව තහවුරු වුණේ. මේක දැනගත්ත ගමන් රනිල්ලා ඒක පාර්ලිමේන්තුව ඇතුළෙදීම පෙන්වන්න හිතට ගත්තේ නිකම් නොවේ. විදේශ තානාපතිවරු ගෙන්වලා. මහින්දලාගේ පිරිස කලබල කරවන තැනට වැඩ සිද්ධ වුණාම එයින් ආවේගශීලී තත්ත්වයක් ඇතිවුණා. රටටම ඒක දැකගන්න වුණු තැනට රනිල්ලා රට පත් කළේ නිකම් නොවේ. මේක රනිල්ලා හොඳට කළමනාකරණය කරගත්තා. ඒකෙන් මෛත්‍රි හිරවුණා කියල කීවත් ඇත්තටම පැත්තක හිටපු මහින්ද මහත්තයයි හිර වුණේ.”

ගම් මට්ටමේ පොහොට්ටුවේ ක්‍රියාධරයකු කලකිරීමෙන් යුතුව කීවේද නිකමට නොවේ. පොහොට්ටුව වටා පෙළගැහෙමින් තිබුණු මහා ජන බලවේගයට හෙණ පහරක් ගැහුවා වගේ මේ සිද්ධ වෙච්ච දේ අහිතකර විදියට මහින්දත් ඔහු වටා පෙළ ගැහුණු බලවේගත් හෙල්ලුම් කෑවා යැයි අවංකව සිතන පිරිස් වැඩිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් කදිමට එකට එකතු කරන්නට තිබුණු නියමිත කාල සීමාව වී තිබුණේ ඊළඟ පළාත් සභා මැතිවරණය හෝ මහ මැතිවරණය බව විශ්වාස කළ පොහොට්ටුවේ ප්‍රබලම බලකණු පවා මෙම අබග්ගයෙන් කැලඹී ගෙනය. එහෙත් මහින්ද පාර්ශ්වයට මෙය පරාජයකින් ඉවර කරගන්නට බැරිය. ඔවුන් කෙසේ හෝ මේ ගේම ගහන්නටම ඕනෑය. එළිපිට සද්ද බද්ද නැතිව බහුතරය නැති බව පෙනෙන්නට තියා ඔවුන් කල් යල් බලමින් ඉන්නේ තවත් කඩඉමක් සාර්ථකව පනින්ට හැකි වේදැයි ඉව අල්ලමිනි.

“රනිල්ලා ජාත්‍යන්තරයටත් පෙන්නන්න රටටත් දැනගන්න, පාර්ලිමේන්තුව ඇතුළේදී මෛත්‍රිට බලයක් නෑ, මෛත්‍රි පරාදයි කියන්න ඕනෑකමින් උත්සාහ කළා. ඒක මහින්ද පරාජය කරලා පෙන්වනවාටත් වඩා රනිල්ලාට ඕනෑ වෙලා තියෙන්නේ මේ වෙලාවේ පරම හතුරා වන මෛත්‍රිව හැම තැනින්ම පරාජය කරවලා පෙන්වන්නයි. ඒකට පෙළගැහුණු උණුසුමත් එක්ක ටී.එන්.ඒ. එකයි ජේවීපීයයි උදවු කරන බවත් දැන උන්නා. වැඩේ සාර්ථකයි. මහින්දව පරද්දනවා කියන්නේ ඒ හරහා මෛත්‍රිට දිගට හරහට පහර දෙන එකයි. වට්ටන එකයි.”

ශ්‍රීලනිපයේ ඉතා මධ්‍යස්ථ මතධාරියකු කීවේ එවැන්නකි. ඔහුගේ මතයට අනුව නිසැකයෙන්ම රනිල්ට මහින්දට පහර දෙනවාට වඩා ඒ හරහා මෛත්‍රි කොටු කරන්නට ඕනෑය. මේ ක්‍රියාන්විතයේ තව තවත් ජවනිකා පෙළගැසෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව පැහැදිලිය.

“මේ ප්‍රශ්නය ඇති වෙන්න ඉස්සර රනිල් මැතිවරණයකට ගියා නම් ආණ්ඩුවක් හැටියට අරන් තිබුණු තීන්දු තීරණ එක්ක ප්‍රතිඵලය වඩාත් අවාසිදායක වෙන්න තිබුණා. රනිලුත් එයා වටා ඉන්න කිහිප දෙනකුත් කරපු දේවල් ගැන යූඑන්පීයේ ඇතුළෙම දැඩි විවේචන තිබුණා. මහ බැංකු වංචාවක් වුණාය කියපු චෝදනාව රනිල්ව බිත්තියට හේත්තු කරන තැනට හිර වෙලා තිබුණා. නමුත් මෛත්‍රි මේ කරපු වැඩෙන් එයා හිතුවෙ අයින්කරපු ගමන් රනිල් කොට්ටමෙට්ට හකුළාගෙන අරලියගහ මැඳුරෙන් යයි කියලයි. ඒක තමයි මෛත්‍රිට වැරැදුණු තැන. දැන් ශ්‍රී ලංකා එකේ අයත් හීන්සීරුවේ මෛත්‍රි අත්ඇරලා යන තැනක. ඒ අය දන්නවා මහින්ද ළඟ මිසක්, බැසිල් ළඟ මිසක්, ගෝඨා ළඟ මිසක් මෛත්‍රි ළඟ රැකවරණයක් නෑ කියලා.”

යූඑන්පීයේ රනිල් සමඟ සිටින ප්‍රබලයකු තත්ත්වය පිළිබඳ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වමින් කීවේ එවැනි කතාවක්ය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් මහින්ද, බැසිල්, නාමල් ඇතුළු බලවේගය ඉදිරි මහ මැතිවරණයකදී ශක්තිමත් වෙද්දී ශ්‍රීලනිපය දියාරු වී මෛත්‍රි ජනාධිපතිකමෙන් ඉවතට ගිය පසු අභාග්‍ය සම්පන්න ඉරණමකට ගොදුරු වන බව චන්ද්‍රිකා දැනගෙන සිටින්නේ තත්ත්වය එන හැටි හොඳ නැති නිසාමය. ඒ අනුව මෛත්‍රිගෙන් පසු ශ්‍රීලනිපය ශක්තිමත් කරන්නට දැනටමත් චන්ද්‍රිකා වැඩට බැහැලාය. මේ කලබැගෑනි අස්සේ චන්ද්‍රිකා ගහන ගේම වෙනමම එකක්ය. ඒ නිසා ශ්‍රීලනිපයේ යටි බිම් ගත හැසිරීම මේ මොහොතේ අමුතුය. විවිධය.

දයාසිරිලා, මහින්ද සමරසිංහලා, ලක්ෂ්මන් සෙනෙවිරත්නලා, ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෝ නොවුණත් කලක් එජාප ප්‍රබලයන්ව සිටි මේ අයට අද ශ්‍රීලනිපය ඇදගෙන යන්නට වී ඇති බව චන්ද්‍රිකා දන්නීය. කුමාර වෙල්ගමලා හදවතින්ම ශ්‍රී ලංකාකාරයෝ හැටියට කරන විවේචනත්, කතාත්, හැසිරීමත් මෛත්‍රිට නවත්වන්නට බැරිය. ඔවුන් පොහොට්ටුවට යන්නේ නැත්තේ පොහොට්ටුවට ඔවුන් ඕනෑ නැතිද යන්න කියන්නට බැරිය. එසේ නැතිනම් පොහොට්ටුවට යෑමට වඩා ශ්‍රීලනිපය තුළින් මතුවී ආසන කිහිපයක් හෝ දිනාගෙන යම් කිසි රජයක් පිහිටුවද්දී කේවල් කර තනතුරු ලබාගෙන යමක් කරන්නට ඔවුන්ට ඉඩ හසර ලැබෙන නිසා වන්නටද පුළුවන. එසේ නොවුණත් ශ්‍රීලනිපයේ මන්ත්‍රිලා හැටියට ඔවුන්ට කොයි පැත්තට හෝ යා හැකි එකඟතාවකට එළැඹෙන්නට හැකි වනු ඇත.

කෙසේ වෙතත් මෛත්‍රි හැරයන ශ්‍රීලනිපයේ බහුතරය වැඩිය. ඔවුන් එජාපයට වඩා මහින්දගේ පොහොට්ටුවට යෑමේ සම්භාවිතාව වැඩිය. මෛත්‍රි මෙතැනදී කරගත් වින්නැහියෙන් බැලූබැල්මට මහින්ද ව්‍යවස්ථානුකූල අර්බුදයෙන් පරාජය වේය යැයි පෙනුණත් ඔහු මෛත්‍රිට වඩා ඉදිරියෙන්ය. ඒ මහ මැතිවරණයකින් හෝ යළි බලය අල්ලා ගන්නට සටනක් දිය හැකි නිසාය. ඒ නිසා මෛත්‍රි සරණ යනවාට වඩා ශ්‍රීලනිප ප්‍රබලයන්ට වෙනත් විකල්ප සොයන්නට සිදුවිය හැකිය. ඇතැම් විට පැත්තක හිටපු කුමාර වෙල්ගම ප්‍රබලයකු වන්නටද පුළුවන. ශ්‍රීලනිපයේ එවැනි පෙළගැස්මක් පවතිද්දී රනිල් ඇතුළු පිරිස තමන් ගහපු ගේමෙන් ඉවත් වන්නට සූදානම් නැත.
මේ සියලු බාධක පෙළගැසෙන්නේ මෛත්‍රිට අහිතකර විදියටය. ඔහු කොයි තරම් නිවැරැදි තීන්දුවක් ගත්තා යැයි කීවද ඒ සියල්ල ජනතාව ඉදිරියේ ඔප්පු කර පෙන්වා ඔහුට ජනාධිපතිවරණයක් සඳහා යන්නට තිබුණු ජනප්‍රිය භාවයද දැන් හීන වී අවසන්ය. එහි සියලු වාසි ඇත්තේ තවමත් පොහොට්ටුවෙන් ඉදිරිපත් වන මහින්දටය.

ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව කුමන එකක් වුවද රනිල් හා මහින්ද නායකයන් හැටියට මුහුණ දෙන්නේ ඉතිහාසයේ අසීරුතම කාල වකවානුවකටය. අනවශ්‍ය පෙරැළියක් ඇති කර ගැනීමෙන් මහින්දද අත පුච්චාගත් බවක් පැහැදිලිවම පෙනෙන්නට ඇත. රනිල්ටද තමන්ගේ පක්ෂය තුළින් තවදුරටත් එන පීඩනයෙන් ගැලවෙන්නට බැරිය. මුළු පක්ෂයම රනිල්ව බිත්තියට හේත්තු කර අවසන්ය.

එහෙයින් මේ නායකයන් දෙදෙනාම තම තමන්ගේ පාර්ශ්වයන් ජයග්‍රහණය කරා ගෙන යෑමේ සටනේදී ඉතා තීරණාත්මක කාල වකාවානුවකට මුහුණ දී සිටීම සුවිශේෂ තත්ත්වයක්ය.

ජනතාවට වගකියන අගමැතිවරයකු තවදුරටත් අවිනිශ්චිත බවට පත්වීමේ ව්‍යවස්ථානුකූල අර්බුදය විසඳී කුමන තත්ත්වයක් උදාවුවද මහමැතිවරණයකදී මේ වෙද්දී පෙළගැසී තිබෙන පසුබිම අනුව කාට කාටත් බහුතර බලයක් ලබා ගැනීම ලෙහෙසිවන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ තවත් රට අර්බුදයකට යනවා විනා එහි කෙළවරක් දකින්නේ නැත. මෙතැනදී රට ගැන හිතා මහින්දත් රනිලුත් දෙදෙනා මුහුණට මුහුණ හමුවී රට ගැන සිතා කරගන්නා එකඟතා අනුව එය තීරණය වනු ඇත.

 

සරලි