ජනපති අර්බුදය විසදීමට තවත් කල්මරයි..! මහින්දට බහුතරය නැතිබව පිලිගනී – රනිල් අගමැති කිරීමට එකඟ නැහැ..!

ජනාධිපති සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණ අතර ඊයේ (30) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති පැවති සාකච්ජාවද විසඳුමකින් තොරව අවසන් වී තිබේ. එම සාකච්ජාවෙන් අනතුරුව පිටතට පැමිණි  එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසා තිබුණේ තවදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවයි. පවත්නා දේශපාලන අර්බුදකාරි තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කළ බවත් ඉදිරියේදී මෙම සකච්ජාවල ප්‍රගතිය පිළිබඳ ප්‍රකාශයක් ලබා දෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීහ.

එහි ඇතිව තිබෙන එක් එකගතාවයක් වන්නේ දෙපාර්ශවය අතර තවත් සාකච්ඡාවක් එලැඹෙන දෙසැම්බර් 03 වනදා පැවැත්වීමටය. ඉතා පැහැදිලිව සිරිසේන ජනාධිපතිට රට පත්ව ඇති අරාජිකත්වය පිළිබඳ කිසිදු සංවේදිතාවක් නොමැති අතර තවදුරටත් ඔහු ඔක්තෝබර් 26 දියත් කළ ව්‍යවස්ථා විරෝධී මාවතේ ගමන් කරමින් සිටින බව පෙනි යයි.

මේ අනුව පෙනී යන්නේ අර්බුදය විසදිම වෙනුවට ජනාධිපතිවරයා තවදුරටත් කල්මරමින් සිටින බවයි. ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ රට හමුවේ සිදුකල ප්‍රකාශ හමුවේ රනිල් වික්‍රමසිංහ නැවතවරක් අගමැති ධුරයට පත්කිරීමට නොහැකි තත්වයක් මේ වනවිට උත්ගතවි ඇති බව පෙනී යයි. ජනාධිපති ලෙස තමා විසින් පසුගිය 26දා මහින්ද අගමැති ධුරයට පත්කරමින් ගන්නා ලද ක්‍රියාමාර්ගය හරහා රටතුල දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇතිබව මේ වනවිට ඔහුට තහවුරු වුවද විසදුමකට නොපැමිණ අධිකරණ ක්‍රියාදාමය හා පාර්ලිමේන්තු ක්‍රියාදාමය අතර ජනාධිපතිවරයා දෝලනය වෙමින් සිටින බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව ජනාධිපතිවරයා එක්සත් ජාතික පෙරමුණ සමඟ සාකච්ජාව පවත්වා ඇත. දෙමළ ජාතික සන්ධාන හමුවේ මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති බව ජනාධිපතිවරයා පිළිගත් බව එම පක්ෂය පවසයි. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනා හතරක් පාර්ලිමේන්තුවේදී සම්මත වූ බව තම පක්ෂය එහිදී ජනාධිපතිවරයාට පෙන්වාදුන් බව මෙහිදී සුමන්දිරන් මන්ත්‍රිවරයා මාධ්‍ය හමුවේ පැවැසීය.

පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයාට අගමැති පදවිය ලබා දෙන අතර, තමන් පත් කළ අගමැති මහින්ද රාජපක්ෂට බහුතර බලයක් නොමැති බව පිළිගන්නා බවත් ජනාධිපතිවරයා එම හමුවේදී ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ යළිත් වරක් අගමැති පදවියට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිගින් දිගටම අවධාරණය කළ අතර, දෙසැම්බර් පස් වෙනි දින අගමැති පදවියට පත්කරනු ලබන්නේ කවරෙකු ද යන්න සම්බන්ධයෙන් සිකුරාදා (නොවැම්බර් 30) සාකච්ඡාවේදී කිසිවක් සඳහන් නොවූ බව ද එස් සිවමෝහන් මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපතිවරයා නව අගමැතිවරයෙක් පත්කොට මාසයක් ගතවීමෙන් අනතුරුවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන බව සනාථ කිරීමට ඔහු සමත් වී නොමැති බව පෙන්වාදෙන දෙමළ ජාතික සන්ධානය, පසුගිය නොවැම්බර් 14 සහ 16 දෙදින සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව රටට අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් නොමැති තත්වයක් නිර්මාණය වූ බව ද පෙන්වා දී තිබුණි