අන්තවාදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන්ට ජීවිත තර්ජන.

ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා ලබා මරණ දඩුවම නියමව සිටි කාන්තාවක් නිදොස් කොට නිදහස් කළ පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් ජීවිත තර්ජනයන්ට ලක්ව සිටින බව වාර්තාවනවා.ඒ මෙම තීන්දුවට එරෙහිව පකිස්ථානය තුල පැතිර යන විරෝධතා සමගයි. මේ වන විටත් අන්තවාදී පිරිස් විසින් කළහකාරී ලෙස හැසිරෙමින් මෙම තීන්දුවට විරෝධය පල කරමින් සිටිනවා.

මෙසේ මරණ දඩුවමෙන් මුදා හැර තිබුණේ දෙවියන්ට අපහාස කළ බවට චෝදනා ලැබූ ක්‍රිස්තු භක්තික කාන්තාවක්. පකිස්ථානය තුල දෙවියන්ට අපහාස කිරීම බරපතල දඩුවම් ලබාදෙන වරදක් ලෙසයි සලකනු ලබන්නේ.

මෙම චෝදනා මත ඇය වසර 8ක් බන්ධනාගාරයක රදවා තිබුණා.එහෙත් එරට ශ්‍රේෂ්ඨාධීකරණය විසින් මීට අදාළ කරුණු සලකා බැලීමෙන් පසු අදාළ තීන්දුව නිකුත් කළ අතර ඒ මොහොතේ සිට පකිස්ථානයේ විරෝධතා ක්‍රියාත්මකයි.