ශ්‍රී ලංකා ක්‍රිකට් මුල්‍ය ප්‍රධානියා නොවැම්බර් 01 දක්වා රිමාන්ඩ්.

රහස් පොලිසිය මඟින් අත් අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානී පියල් දිසානායක නොවැම්බර් මස 01 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අධිකරණය ඊයේ (23) නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විසින්  අත්අඩංගුවට ගත්  සැකකරු ඊයේ (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ  ඉදිරියට පමුණුවනු ලැබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ  මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි. එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන  01  වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කර තිබේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට උත්සහ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා විසින්පසුගිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ක්‍රිකට් තරගාවලියක රූපවාහිනී ප්‍රචාරක අයිතිවාසිකම ලබා දීමෙන් ලැබුණු  ඇමරිකානු ඩොලර් 187084  ක මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමට බැර නොකොට වෙනත් ගිණුමකට බැර කිරීම තුළින් එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම  සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් හිමිවිය යුතු මුදලේ පළමු වාරිකය පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත් උත්සහයක් අනාවරණයවීමෙන් පසු මෙලෙස දකුණු අප්‍රිකානු තරගාවලියේ ද මුදල් පෞද්ගලික ගිණුමකට බැරවී ඇති බවට තොරතුරු අනාවරණ විය.