මිථ්‍යාදෘෂ්ටියේ නිල ‘ජාතිකකරණය’

අප මේ ගතකරමින් සිටින්නේ මිථ්‍යාවෙන් නොව විද්‍යාවෙන් ලෝකය දෙස බලන කාලයකි. ලෝකයක් ඉස්සරහට ගමන් කරන්නේ එහෙමය. විද්‍යාව සාකල්‍යයෙන්ම අංගසම්පූර්ණ හා සැමවිටම ‘හරි’ ම දැනුම් නිෂ්පාදනයක් සිදු කරන ක්ෂේත්‍රයක් බව අප කිසිසේතම පිළිගන්නේ නැත. එහෙත්, විද්‍යාවේ ඇති පදනම් සහගතම ලස්සන වන්නේ පවතින දැනුම පරීක්ෂණ සහ භෞතික ප්‍රශ්න කිරීම්වලට ලක් කොට යාවත්කාල වීමටත්, දැනුම වැඩිදියුණු වීමටත් වගේම යල්පැනගිය බව පෙනෙන දැනුම වඩා දියුණු දැනුමින් විතැන් වීමටත් ඇති ඉඩකඩයි. ජ්‍යොතිශය වැනි මිථ්‍යාවල් ආගම් සේ අදහන ඇතැම් අය තම තර්ක සාධාරණීකරණය කරනු වස් පෙන්වා දෙන්නේද විද්‍යාවේ ඇති මේ ‘එක මතයක් නැතිකම’ යි. එහෙත්, දියුණු ලෝකය පිළිගන්නේ කිසි දා වෙනස් නොවන, අචල දැනුම් පද්ධති තවදුරටත් නොපවතින බවත්, සැබෑ දැනුමේ අනිවාර්ය ලක්ෂණයක් වන්නේ කිසියම් මොහොතක එහි ඇති දෝෂ හෝ අසංගතතා හමු වුවහොත් ඒ වෙනුවට නව දැනුම් පද්ධති බිහිකර ගැනීමට ඇති හැකියාවයි. ලෝකය වෙනස් කළ හැක්කේත්, ලෝකය තුළ ජීවත් විය හැක්කේත් එවැනි පදනම් සහගත, ඇහැට පෙනෙන දැනුම අනුසාරයෙන් මිස මේ විශ්වයේ කිසි තැනක ඇතැයි මෙතෙක් සාක්ෂියක්වත් හමු වී නොමැති මිථ්‍යාවන් තුළින් නොවේ. ජ්‍යොතිශය යනු හුදෙක්ම පදනම් විරහිත, සම්පූර්ණයෙන්ම බොරුව, රැවටීම සහ ප්‍රෝඩාව තුළ ගිලී පල් වෙමින් තිබෙන මිථ්‍යාවක් බව මෙම ලිපියේදී නැවත නැවතත් පැහැදිලි නොකෙරෙන්නේ මේ සම්බන්ධයෙන් අප විසින් නොයෙක් තැන්වල ඕනෑතරම් ලියා ඇති බැවිනි.

 

ශ්‍රී ලංකා රාජ්‍යයේ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ සහ ‘ජනරජය’ වැනි වචන හැළෙන එක තැනක් නම් ජ්‍යොතිශ මිථ්‍යාවයි. ඇත්තෙන්ම මේ රටේ කෝටි ගාණක් මුදල් වියදම් කොට මැතිවරණ පැවැත්වුවද, ජනතා පරමාධිපත්‍යය යන හුදු වචන මාත්‍රය කොතෙක් ජප කළද, අවසානයේදී මෙය පාලනය වන්නේ පුරවැසියන් විසින් පත් කරනු ලබන දේශපාලන යාන්ත්‍රණයෙන් නොවේ. ජ්‍යොතිශ මිථ්‍යාවෙනි. හක්ගෙඩිවලිනි. ආශිර්වාද පාඨ එබූ පාන් ගෙඩිවලිනි. ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකුට කරන්නට බැරි දේවල් පවා ඉතා පහසුවෙන් ජ්‍යොතිශ මුදලාලිලාට කරන්නට හැකියාව ඇති බවට ඇති හොඳම නිදසුන නම් පසුගිය ජනපතිවරණයයි. ලංකාව කරවටක් මිථ්‍යාවේ ගිලී පණ අදින ජන මනසකට උරුමකම් කියන ඛේදනීය රටකි. ගත වූ රාජ්‍ය පාලන කාල තුළ පමණක් නොව වර්තමානයේ පවා ලංකාව පාලනය වන්නේ ජනතාව මුළා කොට මඩිය තරකර ගන්නා මේ තක්කඩි ජාවාරම්කාරයන්ගෙනි. වෙන එකක් තබා වියත් සමාජයක් බිහි කිරීමේ අරමුණින් යැයි කියමින් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන ක්‍රමය තුළ පවා විභාග පැවැත්වීම වැනි කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අවසන් බලාධිකාරිය හිමි වන්නේද ඔවුන්ට බවට මෑත ඉතිහාසයම සාක්ෂි දරයි. මෙය රටක් වශයෙන් අප අතිශය ලැජ්ජාවට පත් විය යුතු තත්ත්වයකි. සාමාන්‍යයෙන් ඕනෑම දෙයකට ගාවා ගන්නා බුද්ධ දර්ශනය තුළ පවා ජ්‍යොතිශය, හදිහූනියම්, නැකත් බැලීම් ආදිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැත. එහෙත්, අන් සෑම කාරණාවකදී මෙන් මෙහිදීද සිංහල බෞද්ධ බහුතර ජන මනස මුළුමනින්ම බෞද්ධ විරෝධී මගක යමින් බුදුන්ට උඩින් ජ්‍යොතිශ මුදලාලිලා අදහන තත්ත්වක් දක්නට ලැබීම කණගාටුවට කරුණකි. කෝ එතකොට අර බෞද්ධකම? විද්‍යාදෘෂ්ටිය වෙනුවට මිථ්‍යාදෘෂ්ටිය හිස් මුදුනේ තබාගෙන වළපල්ලට යන රටකට අනාගතයක් තිබිය හැකිද?

මෙරට ජාතික නාලිකාව වන ජාතික රූපවාහිනිය විසින් විකාශය කරන ලද එක්තරා වැඩසටහනක් හේතුවෙන් මිථ්‍යාව සමාජගත කරන මාධ්‍ය භාවිතා සහ ඒවා පසුපස ඇති අදිසි හස්ථ ගැන කිසියම් කතාවක් කරළියට පැමිණ තිබේ. ඒ, 2018 මාර්තු මාසයේ සිට නවතා දමන ලද ‘යථාරූප’ වැඩසටහනත් සම්බන්ධ කරගෙනය. ‘යාථාරූප’ යනු ජ්‍යොතිශය ඇතුළු සියලුම මිථ්‍යා භාවිතයන්හි ඇති බොරුව විද්‍යාත්මකවම, ජනතාවගේ ඇස් පනාපිටම ඔප්පු කර පෙන්වූ වැදගත් වැඩසටහනක් ලෙස බුද්ධිමත් ජනතාව අතර ප්‍රසාදයටත්, මිථ්‍යාව බිස්නස් එකක් කරගත් ජ්‍යොතිශ මුදලාලිලාගේ දැඩි වෛරයටත් පාත්‍ර වූ වැඩසටහනකි. මේ මුදලාලිලාත්, කට්ටඬියන් ඇතුළු මිථ්‍යාවෙන් සමාජය ලෙඩ කර ඉන් යැපෙන අන් අයත් නිතර මවා පෙන්වන විජ්ජාවන්හි ඇතිතටම ඇති විජ්ජාවක් නැති බව ඔප්පු කරම පෙන්වූ වැඩසටහනකි. මේ වැඩසටහන නතර කිරීම සම්බන්ධයෙන් රූපවාහිනියේ වත්මන් සභාපතිනි ඉනෝකා සත්‍යාංගනීට ඇතැම් පාර්ශ්ව චෝදනා කර තිබුණේ ජ්‍යොතිශවේදීන් පිරිසකගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ජනපති ලබා දුන් නියෝගයක් මත ඇය විසින් මෙම වැඩසටහන නවතා දමන්නට පියවර ගත් බව වුවද ඒ චෝදනාවේ දෙවන කොටසේ කිසිදු පදනමක් තිබිය නොහැක. මන්ද, ඇය අදාළ තනතුරට පත් වන විටත් එකී වැඩසටහන නවතා තිබුණු හෙයිනි. තනතුරට පැමිණෙන විටත් නවතා තිබුණු වැඩසටහනක් සම්බන්ධයෙන් ඇය කෙසේ වගකීම භාරගන්නද? ඒ චෝදනාවෙන් ඇය සහමුලින්ම නිදහස් කළ යුතුය. කෙසේ වෙතත්, අදාළ වැඩසටහන නවතා දමන ලෙස “ජනාධිපතිට කිවුවේ මමයි” යනුවෙන් එක්තරා ජ්‍යොතිශවේදියෙකු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණද එවැනි අයගේ ඔළු කොහොමත් කචල් නිසා අප ඒවා බරපතලෙට ගන්නේ නැත. එතෙකුදු වුවත්, ජනපතිගේ නම සම්බන්ධ කරගෙන එවැනි තීරණාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනපතිගේ පාර්ශ්වයෙන් මෙන්ම රූපවාහිනී පරිපාලනයෙන්ද දක්වන ප්‍රතිචාරය කුමක්ද යන්න අපට වැදගත් ය. කිසිවක් නොකියන්නේ ඇයි?

අප දන්නා තරමින් යථාරූප නතර කිරීම පසුපස කිසිදු දේශපාලනික හෝ එසේ නොවන බලපෑමක් නැත. මේ නිසා එවැනි පදනම් විරහිත චෝදනා නැගීමද බොර දියේ මාළු බෑමක් වැනි ප්‍රයත්නයක් පමණි. එහෙත්, ජාතික යැයි කියා ගන්නා රූපවාහිනියේ ජ්‍යොතිශය වැනි මිථ්‍යාදෘෂ්ටීන් සමාජගත කිරීමට බලපාන වැඩසටහනක් සඳහා පසුගිය දිනක රාත්‍රියේ ජනතාවගේ වටිනා ගුවන් කාලය කොල්ල කෑමේ තක්කඩි ප්‍රයත්නය අපි තරයේ හෙළා දකිමු. ජ්‍යොතිශය සාධාරණීකරණය කරන වැඩසටහනක් විකාශය වීම ම මීට නිදසුන්ය. මෙහි අවසානය කුමක්ද? ඇත්තෙන්ම ඒ ගුවන් කාලය ‘ජාතියේ’ ය. ජාතිය යනු ජනතාවය. මෙම වැඩසටහන විකාශය වීමට ජනපතිගේ නියමයක් වූ බවට ඇතැම් අය සමාජ මාධ්‍යවල චෝදනා නගා තිබුණි. ඇත්තෙන්ම අප දන්නේ නැත. ඇහුවාම හැමෝම කියන්නේ “කිසි බලපෑමක් වෙලා නෑ” කියා නිසා අපට එයින් ඇති වැඩකුත් නැත. වෙලා නැත්නම් හොඳ ය. අප ප්‍රශ්න කරන්නේ හුදෙක්ම එක කාරණයක් පමණි. ජාතික රූපවාහිනිය ජාතියේ නාලිකාව නම්, ජාතිය මිථ්‍යාවෙන් අන්ධ කරන, මිනිසුන්, විශේෂයෙන්ම ඉදිරියේදී රට භාරගැනීමට නියමිත දරුවන්, පවා මුළා කරන මායාවන් කතා කිරීමට වැදගත් මාතෘකා බවට පත් කොට යථාව යටගස්වන මෙවැනි පහත් ප්‍රයත්න පසුපස ඇති අදිසි හස්ථ කුමක් වුවත්, ඒවා තරයේ හෙළා දැකිය යුතුය.

කිසිම මාධ්‍ය ආයතනයක වෘත්තීය දෘෂ්ටිවාදයක් නියෝජනය නොකරන ස්වාධීන සමාජ-දේශපාලනික විචාරකයෙකු ලෙස මේ සම්බන්ධයෙන් විමසීමට අප පෞද්ගලිකව රූපවාහිනියේ සභාපතිනිය වන ඉනෝකාව දුරකතනයෙන් සම්බන්ධ කරගත් විට කතාව මැද භාගයේදී තරමක් කලබලය මුසු ආවේගයෙන් වුවද ඇය ශපථ කර සිටියේ මෙම වැඩසටහන විකාශය කිරීම සඳහාද කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත්, මේ හරහා රූපවාහිනියේදී හඳහන් බැලීමක් සිදු නොවන බවත්ය. ඒ සම්බන්ධයෙන් මම ඇයට ස්තුතිවන්ත වෙමි. ඇත්තෙන්ම එවැනි බලපෑමක් එල්ල වූ බවක් අපි නොකියමු. නොවන්නේ නම් ඇත්තටම එය කොතරම් අගනේද? මේ අප පැතූ යහපාලනයයි(ද?) එසේ නොමැති බව ඔවුන් කියන්නේ නම් අපි පිළිගන්නෙමු. එසේ නම්, මේ මිථ්‍යාකාමී නැඹුරුව රූපවාහිනී පරිපාලනයේ පෞද්ගලික කැමැත්ත විය හැකිය. අප නම් කියන්නේ මෙවැනි මිථ්‍යාදෘෂ්ටීන් පතුරුවන්නේ නම් කේන්දර බලන හරියත් රූපවාහිනී කවුන්ටරයකම පටන් ගත්තා නම් ඒ අඩුවත් මගහැරී යන බවය. මෙය විකාශය කිරීම සාධාරණීකරණය කරමින් රූපවාහිනී පරිපාලනය පැත්තෙන් ලැබුණු හේතුව වූයේ ජ්‍යොතිශය යනු සමාජයේ කතාබහට ලක් වන මාතෘකාවක් නිසා එය හොඳයි කියන්නටවත් නරකයි කියන්නටවත් තමාට අවශ්‍ය නොවන බවත්, එය සංවාදයට ලක් කිරීම පමණක් සිදු කළ බවත්ය. මේ ප්‍රතිපත්ති විරහිත කුහකකමද අපි රූපවාහිනියෙන් බලාපොරාත්තු නොවෙමු. රූපවාහිනිය යනු අපට වටිනා සම්පතකි.

ජාතික රූපවාහිනියේ හිටපු සභාපති රවී ජයවර්ධන මහතා 2018 පෙබරවාරි 11 දින සිළුමිණ පුවත්පතට ලබා දුන්, “මුදල් සොයන්න මිථ්‍යාව විකුණන්නේ නෑ” යන හිසින් යුතු සම්මුඛ සාකච්ඡාවේදී අවධාරණය කරන්නේ මෙවැන්නකි:

“කිසිම හක්ගෙඩිකාරයෙකුට, කිසිම නූල් කරකවන්නෙකුට මේ පරිශ්‍රයට එන්න බෑ. පට්ටපල් බොරු කියන ජ්‍යොතිශකාරයින් ගෙන්වාගෙන අපි මුදල් හම්බ කරන්නේ නෑ. මොකද මේ ව්‍යසනයෙන් ජනතාව එළියට ගන්න ඕනා”.

ඒ රවීගේ ප්‍රතිපත්තියයි. සමහරවිට ඉනෝකාගේ ප්‍රතිපත්තිය වෙන එකක් විය හැක. රවී ජයවර්ධනගේ උක්ත ප්‍රකාශය අපගේ නොමඳ පැසසුමට ලක් වන්නේ විය යුතු පරිදිම ජාතික යැයි කියන නාලිකාවක පරිපාලකයෙකු වශයෙන් ඔහු තමන්ගේ භූමිකාව ඉතාම සබුද්ධිකව සහ වගකීම්සහගත ලෙස තේරුම් ගෙන ඇති බව පෙන්නුම් කිරීම නිසාය. රවීට පෙර රූපවාහිනියේ සභාපතිවරයෙකු වූ සෝමරත්න දිසානායකද මිථ්‍යාව රූපවාහිනිය තුළට වැද්දා නොගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව අප අසා ඇත. ජාතික රූපවාහිනියකින් ජාතිය බලාපොරාත්තු වන්නේ ජාතියට වැඩදායී වැඩසටහන් මිස මිථ්‍යාව, බොරුව සහ ප්‍රෝඩාව නොවේ. මේ නිසා, ‘ජ්‍යොතිශය හරි හෝ වැරදි හෝ නොකියන නමුදු එය සමාජයේ කතාබහට ලක් වන මාතෘකාවක් නිසා’ ඉහත කී වැඩසටහන තුළින් මේ මිථ්‍යාව ව්‍යාප්ත කිරීම ගැන ගෙන එන සාධාරණීකරණද අතිශයින්ම විහිළුසහගත ය. එය, මිථ්‍යාවට කඩේ යන ගමන් ගෙනහැර පාන අසාර්ථක ජෝක් එකක් පමණි. මත්කුඩු යනුද සමාජයේ කතාබහට ලක් වන මාතෘකාවකි. ජ්‍යොතිශය තරමටම නැතත් අතිශය හානිකර මත්ද්‍රව්‍යයකි. දැන් ඉහත තර්කය තුළ හෙට අනිද්දා නම ගිය කුඩුකාරයින් කිහිප දෙනෙකුද රූපවාහිනී මැදිරියකට ගෙන්වා කුඩු ගැන කතා කරන අවස්ථාවකුත් අප තිරයේ බලාපොරොත්තු විය යුතුද? ජනතාව මත් කර යථාර්ථයෙන් පළා ගොස් සැඟවෙන්නට උදවු කරන ඔවුන්ටත් අවස්ථාව ලබා දිය යුතු නොවේද? අනෙක් අතට ජාතික රූපවාහිනිය යනු ජනතාව බරපතල ලෙස භාරගන්නා නාලිකාවකි. එවැන්නකින් මිථ්‍යාව පතුරුවා හැරීමෙන් සමාජයට සිදු වන හානිය සුළුවෙන් තැකිය නොහැක්කේ එහෙයිනි. කරුණාකර, අප බබ්බුන් යැයි නොසිතන්න!

කොහොම කිවුවත් කියන්නට තිබෙන්නේ මේ විගඩම් බුද්ධිමත් සමාජය විසින් ඉතා පිළිකුළෙන් හෙළා දකින බවයි. අප රටේ හෙට දවස සඳහා අවශ්‍ය වන්නේ මිථ්‍යාවෙන් අන්ධ වූ සමාජයක් නොවේ. දියුණු, විවෘත මනසකින් ලෝකය දකින, ඉදිරියට ඇදෙන සමාජයකි. එහෙත්, රටේ ජාතික යැයි කියාගන්නා නාලිකා පවා මෙලෙස පසුගාමී මිථ්‍යාවන් අස්සේ ජන මනස හිර කිරීමට මග පෑදෙන තත්ත්වයන්ට ඉඩකඩ සලසා, ඒ බව සාධාරණීකරණය කරමින් සිටින්නේ නම්, වෙනස් වීමේ තීරණය ඇත්තේ ජනතාව අතරය. මෙරට ජ්‍යොතිශය රාජ්‍ය පාලන යාන්ත්‍රණය මෙහෙයවන තත්ත්වයක් තුළ, අධ්‍යාපන ක්‍රමය පවා එහි බලපෑමට ලක්වී ඇති තත්ත්වයක් තුළ, අප කළ යුත්තේ මේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමයට බැන බැන කල්හැරීම පමණක් නොවේ. අලුත් ජනතාවක්, ජන විඥානයක් පත්කර ගැනීමයි. මිත්‍රවරුනි ඇහැරෙන්න, ඔබ ඊට සූදානම්ද?

– අශාන් වීරසිංහ