දරුවන් 11 දෙනෙකු අතුරුදහන් කිරීම පිළිබඳ චෝදනා එල්ලවී ඇති කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කල සමයේදීත් පෙනී සිටියේ රහස් පොලිසිය හෝ අගතියට පත් පාර්ශව වෙනුවෙන් නොව සැකකරුවන් වෙනුවෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.තම දෙපාර්තමේන්තු විසින් කල පරීක්ෂණ අධීක්ෂණය කිරීමට පත්කර සිටි එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වූ එම ජනාධිපති නීතිඥවරයා අදාළ පැහැරගැනීමේ චෝදනා එල්ලවූ ඇතැම් නාවික හමුදා ජේෂ්ඨ නිලධාරීන් කැඳවා අවශ්‍ය ප්‍රකාශ ලබාගැනීම සඳහා විමර්ශන නිලධාරීන්ට ඉඩ නොදුන් බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

මෙම බාධාකිරීම් නිසා ඒ පිළිබඳ විධිමත්ව පරීක්ෂා කිරීමට තිබු අවස්ථාව විමර්ශන නිලධාරීන්ට මඟහැරී ගියබවත් ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

එවකට නාවික හමුදාවේ ද හමුදා අධිකරණයේ ස්වේච්ජා නිලයක් (Judge Adocate )දැරූ එම ජනාධිපති නීතිඥවරයාට නීතිපතිවරයා වෙනුවෙන් අදාළ පරීක්ෂණ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අධීක්ෂණය කිරීමේ වගකීම පවරා ථිඋ නිසා ඔහු ලබාදුන් උපදෙස අනුව ක්‍රියා කරනු මිස තමන්ට වෙනත් විකල්පයක් නොතිබූ බව ශානී අබේසේකර මහතා සඳහන් කළේය.

රහස් පොලිසිය විසින් අතුරුදහන් කිරීමේ සිද්ධිය ගැන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන බී වාර්තාවල සිය නම සඳහන් කර තිබීම මඟින් තමන්ට අගතියක් වී ඇති බව සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට පෙන්වාදුන් විට අධිකරණයේ අවසරය මත කරුණු පැහැදිළි කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මෙම කරුණු ප්‍රකාශ කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120/2 වගන්තිය අනුව යම්කිසි විමර්ශනයක ප්‍රගතිය බී වාර්තාවකින්  අධිකරණයට ඉදිරිපත් කරද්දී ඊට අදාළ කරුණු මිස නොඅදාළ කරුණු දැක්වීම අවශ්‍ය නවන බව අධිකරණය මෙහිදී ප්‍රකාශ කර තිබේ. එහිදී අධිකරණයට හේතු දක්වමින් රජයේ ජේෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාර පෙන්වා දුන්නේ අදාළ විමර්ශනවලට බලපාන බව සිතන කරුණු පවා වාර්තාවලට ඇතුළත් කිරීමට නිලධාරීන්ට හැකියාවක් තිබෙන බවය.
සුහදගෙන් බලපෑම්

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබු බී වාර්තාව ඉවත්කර ගන්නා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම්දී ඇති බව දැනගන්නට ඇත.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඉදිරිපත් කල බී වාර්තාව ලෙස මෙය ඉතිහාස ගත වෙන සිදුවීමක් ද වෙයි.

විමර්ශන නිලධාරීන්ට නඩුවට නෑවිත් නිවාඩු ගන්න කියලා

නාවික හමුදාවේ නිලධාරීන් විසින් කොළඹ දී සාමාන්‍ය පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙනගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඇතැම් දිනවලදී නඩුවට පෙනී නොසිට නිවාඩු ගන්නා ලෙස තමන්ට බලපෑම් කල බවට ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා කොටුව අධිකරණයට බී වාර්තාවක් මඟින් තොරතුරු ඉදිරිපත් කර තිබුනේ මීට කලකට පෙරදීය.

ඒ අතරම නිශාන්ත ද සිල්වා අධිකරණයට ඉදිරිපත් කල බී වාර්තාවද ඉල්ලා අස්කර නොගැනීමට තීරණය කර ඇති බවද ආරංචි වේ.

(රාවය)