විල්පත්තුව සම්බන්දයෙන් බදියුදීන්ට අධිකරණයෙන් රතු එලියක්

විල්පත්තු අභය භූමිය ආශ්‍රිත වනාන්තරය එළිපෙහෙලි කර  මුස්ලිම් ජනතාව පදිංචි කිරිම සම්බන්ධයෙන් තමාට එරෙහිව ගොණු කර ඇති නඩුවේ චෝදනාවලින් නිදහස් කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සිදු කළ ඉල්ලීම් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අමාත්‍යවරයා විසින් දිවුරුම් ප්‍රකාශයක් මඟින් සිදු කළ ඉල්ලීම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රිති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල මෙලෙස ප්‍රතික්ෂේප කළ බව වාර්තාවේ. රිෂාඩ් බදියුදීන් මහතා සිය දිවුරුම් ප්‍රකාශය මඟින් අධිකරණයට පෙන්වා දී තිබුණේ මේ වන විට එළිපෙහෙලි කරමින් පවතින විල්පත්තු අභිය භුමිය ආශ්‍ර්ත ප්රපදේශය 1999 වසර දක්වා ජනපදයක්ව පැවැති බවයි.

එල්.ටී.ටී.ඊ තර්ජන හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටි ජනතාව යලි එහි පදිංචිවිමට උත්සහ දරණ අතර එය රක්ෂිතය විනාශ කිරිමක් නොවන බව රිෂාඩ් බදියුදින් මහතා එම දිවුරුම් ප්‍රකාශය මගින් පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් අමාත්‍යවරයා විසින් පෙන්වා දී ඇති එම කරුණු ඉතා අසත්‍ය බව චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් දර්ශන සහ රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ භූමි සිතියම් ඉදිරිපත් කරමින් පෙත්සම්කාර පාර්ශවය අභියාචනාධිකරණයට පෙන්වා දුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර අදාළ නඩුව නොවැම්බර් මස 12 වනදා විභාගයට ගැනිමට ද තීරණය කර තිබේ.