පාකිස්තානයට නව මැතිවරණයක් ඉල්ලයි

පාකිස්තාන මැතිවරණ ප්‍රතිඵල එරට ප්‍රතිවාදී පක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නායකත්වය දරන පාකිස්තාන තරික් ඊ ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි. පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කර ඇති බවට ප්‍රකාශ කළ ද ඡන්ද ගණන් කිරීමේ දී වංචා රැසක් සිදුව ඇති බවයි.

ඉස්ලාම්බාද්හි පැවති ප්‍රතිවාදී පක්ෂ සංවිධානය කර තිබු ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව එක් ප්‍රතිවිරුද්ධ පක්ෂ නායකයෙකු විසින් කියා සිටියේ නව මැතිවරණයක් ඉල්ලා විරෝධතා සිදු කරන බවයි.

මේ අතර හිටපු පාලක පක්ෂය සඳහන් කරන්නේ තමන් විපක්ෂයට යාමට සුදානම් බවයි. එරට හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සහෝදරයෙකු වන සාබාෂ් ෂරීෆ් සඳහන් කරන්නේ තම පක්ෂය පාර්ලිමේන්තු වර්ජනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි.

නිකුත් කර ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඉම්රාන් ඛාන් ආසන 115ක ජයග්‍රහණය හිමි කර ගෙන තිබෙනවා. ආසන 09ක ප්‍රතිඵල මෙතෙක් නිකුත් කර නොමැති බව සඳහන්.

ආණ්ඩුවක් පිහිටුවීමට නම් ඉම්රාන් ඛාන් ආසන 137ක ජයග්‍රහණය හිමි කර ගත යුතු වුවද එම අවස්ථාව අහිමිවීම හේතුවෙන් සන්ධානයක් පිහිටුවීම සඳහා ඔහු විසින් මේ වනවිට ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බව සඳහන්.