පාකිස්තාන මැතිවරණයෙන් ඉම්රාන් ඛාන් ඉදිරියෙන්

පාකිස්තාන මහ මැතිවරණයේ දැනට ප්‍රකාශයට පත්වූ ප්‍රතිඵල අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ජයග්‍රහණ මාවතේ සිටින බව පෙන්නුම් කළද, තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය සමස්ථ බහුතරය නොලැබෙන තත්ත්වයක් පවතී.

ඡන්ද ගණන් කිරීම අවසන් කර ඇති අඩක් පමණවන මධ්‍යස්ථානවල ‘නිල නොවන ප්‍රතිඵල’ අනුව ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි (PTI) පක්ෂය ඉදිරියෙන් සිටී. නමුත් ඔහුගේ එදිරිවාදීන් ඡන්ද වංචා පිළිබඳ චෝදනා කරති.

ප්‍රතිඵල සෙමෙන් ප්‍රකාශයට පත්වෙමින් තිබෙන අතර මැතිවරණ නිලධාරිහු වංචා චෝදනා ප්‍රතික්ෂේප කරති. අදාල චෝදනා තාක්ෂණික ගැටලු බව ඔවූහු ප්‍රකාශ කරති.

මැතිවරණ කොමිසම සතු 47% ක ඡන්ද මධ්‍යස්ථාන වාර්තා අනුව, ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය ආසන 272 න් 113 ක් දිනා ඇති බව පාකිස්තාන ‘Dawn’ පුවත්පත වාර්තා කරයි.

Dawan News Paper

ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඉම්රාන්, 1992 වසරේදී පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසළානය ලබා ගැනීමට මූලිකත්වය ලබාදුන්නේය. 1996 දී මුල් වරට ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසි ඔහු තම මාවත සකස් කර ගැනීම සඳහා වසර ගණනාවක් පුරා දේශපාලනයේ නිරතවිය. හැටපස් වියැති ඉම්රාන් ඛාන් තම එදිරිවාදීන්ට එරෙහිව හමුදා සහාය ලබමින් සිටින බවට ද චෝදනා එල්ල විය.

පාකිස්තානයේ මහජන ඡන්දයෙන් පත්වූ පාලකයෙකුට බලය පවරන දෙවෙනි අවස්ථාව ලෙස මෙම මැතිවරණය ඉතිහාස ගතවනු ඇත.

BBC

පාකිස්තානයේ මහා මැතිවරණය පැවැත්වූ බදාදා (25) මිලියන ගණනක් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණි අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය.

BBC