පකිස්තානයේ මැතිවරණ රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 128 දෙනෙකු මරුට.

පකිස්තානයේ Balochistan පළාතේ මාස්ටන් නගරයේ පැවති මැතිවරණ රැළියකට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 128 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ 2014 වසරෙන් පසුව එරටට එල්ල වු දරුණුතම ප්‍රහාරය මෙය බවයි.

මියගිය අය අතර ප්‍රාදේශීය අපේක්ෂකයෙකු ද සිටින බව සඳහන්. ආරක්ෂක අංශ සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය අයි.එස්.ත්‍රස්තවාදීන් විසින් සිදු කරන්නට ඇති බවට සැක පළ කරන බවයි.

මේ අතර තවත් මැතිවරණ රැළියකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනකු මියගොස් තිබෙනවා. මීට පෙර දින ද භානු නගරයේ පැවති මැතිවරණ ප්‍රචාරණ රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වු අතර ඉන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගියා.

මේ අතර සිර දඬුවම් නියම වු පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය ලන්ඩන් නුවර සිට එරටට පැමිණීමත් සමඟ ලාහෝර් නුවර දී අත්අඩංගුවටගනු ලැබුවා.

ලන්ඩනයේ සුඛෝපභෝගී මහල් නිවාස භාවිත කිරීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් නවාස් ෂරීෆ්ට වසර දහයක සිර දඬුවමක් නියම වු අතර දියණියට වසර 07ක සිර දඬුවමක් නියම වුණා. අදාළ චෝදනාවට නවාස් ෂරීෆ්ගේ බෑණනුවන්ට ද වසරක සිර දඬුවමක් නියම වු අතර ඔහු මේ වනවිට බන්ධනාගාර ගතව පසුවනවා.

තෙවරක් පකිස්තානයේ අගමැති ලෙස තේරී පත්වූ නවාස් ශරීෆ් පසුගිය වසරේ තනතුරින් නෙරපා හරින ලද්දේ දූෂණ චෝදනා පරීක්ෂණයකින් අනතුරුවයි.

ආදායමට වැඩි වත්කමකට හිමිකම් කීම සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයාට චෝදනා පැවති අතර, නඩු විභාගයට සහාය නොදීම යන චෝදනාව සඳහා වසරක කාලයක් ද අතුළුවයි සිර දඬුවම් නියමව ඇත්තේ.