මහරගම බයිසිකලයේ 23දෙනාගේ මන්ත්‍රී ධූරය අහෝසියි..? කොළඹ මහාධිකරණයෙන් පෙත්සම විභාගයට අවසර..!

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා බයිසිකලය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමෙන් තේරී පත් වූ මන්ත්‍රීවරු  23 දෙනාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ ඡන්ද පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අවසර ලබා දී තිබේ.

එම නගර සභාව සඳහා තරග කළ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින්  විසින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ බයිසිකලය ලකුණේ තරගකොට මහරගම නගර සභාව සඳහා තේරී පත්වූ අපේක්ෂකයින් ගෙන් බහුතරය මහරගම නගර සභා බල ප්‍රදේශයට පරිබාහිර ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

පළාත් පාලන මැතිවරණ පනත අනුව යම් පළාත් පාලන ආයතනයක් සඳහා තේරීපත් විය හැක්කේ එම පළාත් පාලන ආයතන සීමාව තුළ පදිංචි කරුවන්ට පමණක් බව සඳහන් කළ පෙත්සම්කරුවන් බයිසිකලය ලකුණෙන් තේරීපත් වූ පිරිසෙන් බහුතරය මහරගම ප්‍රදේශයෙන් බැහැර පදිංචි කරුවන් බැවින් ඔවුන්ට සභාවේ මන්ත්‍රී ධූරයක් දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව කියා සිටියේය.

එවැනි  නුසුදුසු පුද්ගලයින් බයිසිකලය ලකුණෙන් ඉදිරිපත්වූ නාමයෝජනා පත්‍රයේ ඇතුළත්ව සිටින බැවින් එම කණ්ඩායමේ තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ පත්වීම් බලරහිත කරන ලෙස පෙත්සම්කරුවන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.

පෙත්සම සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පෙත්සම ලබන 30  වනදා විභාගයට ගැනීමට නියම කළ අතර එදිනට පෙර විරෝධතා තිබේනම් ඒවා ඉදිරිපත් කරන ලෙස වග උත්තරකාර පාර්ශවයට නියම කළේය.

(අද දෙරණ)