බ්‍රසීලයේදී සිදුකල මනුෂ්‍ය ඝාතනයක් පිලිබද ප්‍රශ්ණ කිරීමට කමල් ගුණරත්න අද CIDයට.

 බ්‍රසීලයේදි  2013 වසරේ සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්දයෙන් ප්‍රශ්ණ කිරීම සදහා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්නැයි විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට දැනුම් දී තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.
කමල් ගුණරත්න මහතා බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ තානාපති කාර්යාලයේ සේවකයෙකුට පහර දී ඔහු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගුණරත්න මහතාට චෝදනා එල්ල වී තිබේ. 2013 නොවැම්බර් මාසයේදී සිදු වී ඇති මෙම අපරාධය හේතුවෙන් මියගොස් ඇත්තේ අයි.ඩී. නිමල් රූපසිංහ නැමැත්තාය.
කමල් ගුණරත්න 2012 වසරේදී බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙස පත්කර යැවූ අතර නිමල් රූපසිංහ නැමැත්තා අවස්ථා කිහිපයදී කමල් ගුණරත්නගෙන් තමාට තාඩන පීඩන සිදුවන බවට සිය දියණියට දුරකතනයෙන් ප්‍රකාශ කර තිබෙනවා. 2013 නොවැම්බර් 02 වැනිදා ඔහු අවසන් වරට සිය දියණිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ තමා නැවත ලංකාවට පැමිණෙන බවයි. එහෙත් ඔහුට ලංකාවට පැමිණීමට නොහැකි වූ අතර පසුව වාර්තා වූයේ ඔහු අශ්වයෙකු එල්ල කළ පා පහරක් හේතුවෙන් මියගොස් ඇති බවයි. කෙසේ වෙතත් දියණිය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සිදුකළ විමසීමකදී අමාත්‍යංශය පවසා ඇත්තේ තානාපති කාර්යාලයට නොදන්වා ඔහු සේවය හැරගොස් ඇති බවයි.
මෙම ඝාතනය මොට ආයුධයකින් හිසට පහරදීම හේතුවෙන් සිදුව ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් කමල් ගුණරත්නට චෝදනා එල්ල වී තිබේ. කෙසේ වෙතත් මෙම සිදුවීම තානාපති කාර්යාලයෙන් පිටතදී සිදුව ඇති බැවින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට පරීක්ෂණ පැවැත්වීමේ හැකියාවක් තිබේද යන්න පිළිබඳව සැකයක් මතුව තිබේ. තානාපති කාර්යාලය තුළ සිදුවූයේ නම් එය මෙරට අධිකරණ බලසීමාවට අයත් සිදුවීමක් වන බැවින් මෙරට පොලීසියට සෘජුවම මැදිහත්වීමේ ඉඩක් පවතී.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ පිළිබඳව බ්‍රසීල පොලීසියෙන් විමසීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවයි වාර්තා වන්නේ.