මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද රාත්‍රී සිට යළිත් ඉහළට

අද(10) මධ්‍යම රාත්‍රී සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පෙට්‍ර‍ල් ලීටරයක මිල රුපියල් 08 කින්ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් මිල සූත්‍රය සඳහා කැබිනට් අනුමැතිය හිමිවුවද එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දිනයේ කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කෙරුණි. මුදල් අමාත්‍යාංශය හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව පසුගිය පස් වන දින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට පියවරගනු ලැබීය. එහෙත් එම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම නවතා දැමීමට රජය පසුවදාම තීරණය කළේය.

හඳුන්වා දී ඇති මිල සුත්‍රයට අනුව මාස දෙකෙන් දෙකට ලෝක වෙළෙඳපොළේ මිලට අනුව ඉන්ධන මිල සංශෝධනය සිදුවිය යුතු බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදී තීරණයකට එළැඹීමට නොහැකි වූ අතර ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්‍වයෙන් අද පස්වරුවේ පැවැත් විය. එහිදී තිරණය කෙරුණේ මුදල් අමාත්‍යාංශය හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීමටයි.

ඒ අනුව පසුගිය පස්වන දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවනු ලැබු ඛනිජ තෙල් මිල එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඊට අනුව ඛනිජතෙල් සංස්ථාවෙන් අලෙවි කෙරෙන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 145 දක්වාත්,ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 155 දක්වාත්, ඩීසල් ලීටරය රුපියල් රුපියල් 118 දක්වා සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 129 දක්වා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවෙයි