ආණ්ඩුව විගණන පනත සම්මත කිරීමේදී විගණන කොමිසමට හෝ රටේ ජනතාවට සාධාරණය ඉටුකිරීම වෙනුවට දේශපාලන වුවමනාවට සංශෝධන දාන්න ගිහින් හත් පොළේ ගාගත් බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති අද (08) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෙම චෝදනාව සිදුකළ අතර ජාතික විගණන පනත වර්තමාන ආණ්ඩුවේ දින 100 ප‍්‍රතිපත්තියට අනුව දින 100 ඇතුළතදී සම්මත කරගැනීමට තිබුණු පනතක් වූ බවද සිහිපත් කළේය.තොරතුරු දැනගැනීමේ පනත තරමටම ජාතික විගණන පනතත් රටේ විද්වතුන්ගේ, රටේ මූල්‍ය පාලනය පිළිබඳව උනන්දුවක් දක්වන සියලූ දෙනාගේම සහ මාධ්‍යවලත් විශේෂ අවධානයක් හිමිකරගෙන තිබුණ බවත්  19වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ආණ්ඩුව ජාතික විගණන කොමිසම ස්ථාපිත කළත් එම කොමිසම සකි‍්‍රය කරගත නොහැකි වුණේ, ජාතික විගණන පතන සම්මත වීම ප‍්‍රමාද වීම නිසා බවද ඔහු පැවසීය.

සිදුවන ප්‍රමාදය දැක ජනතා විමුක්ති පෙරමුණ  පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කළ නමුත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පිළිගත නොහැකි බව සඳහන් කරමින් තම පනත ප‍්‍රතික්‍ෂේප කළ බවත් නමුත් දැන්  ආණ්ඩුව ගෙන ආ විගණන පනත ජාතික විගණන කොමිසම ස්වාධීන කරලා, විගණකාධිපතිවරයාට හෝ කොමිසමට බලය පැවරීම සඳහා ගෙන ආ එකක් නොවන බවද ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

විගණකාධිපති දෙපාර්තම්න්තුවේ නිලධාරීන් මැදිහත් වෙලා සකස් කරන ලද මුල් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවත් කැබිනට් මණ්ඩලයේ වුවමනාවට කිහිප අවස්ථාවකදී සංශෝධනයට ලක්කළා. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ඔවුන්ට  ඕන විදිහට සකස් කරපු පනතක් තමයි සම්මත වුණේ. ජාතික විගණන කොමිසම සකී‍්‍රය කරගත නොහැකිව විගණන නිලධාරීන්ගේ කාර්යභාරය අඩපණ වෙලා ඔවුන්ගේ වැටුප් පවා තීරණය කරගන්න බැරිව තිබුණු නිසා විගණන පනත කෙසේ  හෝ සම්මතකර ගැනීමේ වුවමනාවක් තිබුණත් මේ ආකාරයේ පනතක් සම්මත වීම කණගාටුවට කරුණක්.

විගණන පනතේ මුල් අඩංගුවේ සහ සම්මත වූ පනතේ විශාල පරස්පරයක්

මෙම විගණන පනතේ මුල් අඩංගුවේ සහ සම්මත වූ පනතේ විශාල පරස්පරයක් තිබෙනවා. මුල් පනත විගණන කොමිසමට ජාතික වැදගත්කමක් ලෙස සලකා  ඕනෑම ආයතනයක් විගණනයට ලක්කිරීමේ බලය සහිතව සකස් කරනු ලැබුවා. අවශ්‍ය නම් රජය සමඟ කටයුතු කරන කුමණ හෝ ආකාරයක බැඳීමක් තිබෙන පෞද්ගලික ආයතන පවා විගණනයට ලක්කිරීමට මුලින් ඉදිරිපත් කළ පනතෙන් ප‍්‍රතිපාදන තිබුණා. නමුත් සම්මත වූ පනතෙන් එම බලය ඉවත් කරලා තිබෙනවා. සංස්ථා, මණ්ඩලවලට විගණන කමිටුවක් එපා කියලා සංශෝධන ආවා. රජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණනයන් පිළිබඳව විගණකාධිපතිවරයාට සොයා බැලීමේ හැකියාව කැබිනට් මණ්ඩලය විසින් මුල් පනතින් ඉවත් කොට තිබෙනවා. එම ආයතනවල අභ්‍යන්තර විගණනයන්වලදී යම් බලපෑමක් කරන්න විගණකාධිපතිවරයාට තිබෙන හැකියාව අහිමිවෙලා තිබෙනවා. රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණනයන් පිළිබඳව සොයා බලන්න විගණකාධිපතිවරයාට බැරි ඇයි? ඒවා සොයා බලන එක වැරදිද? මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක් නම් ආයතනවල අභ්‍යන්තර විගණනයන් පරීක්‍ෂා කිරීමේ බලය විගණකාධිපතිවරයාට අහිමි කරන්නේ ඇයි?

විගණන අක්‍රමිකතා සඳහා දඬුවම් ලිහිල් කරලා

රාජ්‍ය නිලධාරීන් යම් විගණන කි‍්‍රයාවලියකදී වැරදි තොරතුරු ඉදිරිපත් කළොත් විගණනය නොමග යවන අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළොත් එසේ ඉදිරිපත් කළා යැයි ඔප්පු වුණොත් එවැනි රාජ්‍ය නිලධාරියෙකුට රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කිරීමේ හැකියාව මුල් විගණන පනතින් යෝජනා කොට තිබුණා. නමුත් ආණ්ඩුව මැදිහත් වෙලා එම දඩය රුපියල් පන්දාහ දක්වා අඩු කරන්න සංශෝධනයක් ගෙනාවා. අපි එයට විරෝධය පළකළා. බොහොම අමාරුවෙන් තමයි එම දඩය රු. 25,000ක් දක්වා වැඩිකරගත්තේ. ජවිපෙ යෝජනාවක් ගෙනාවා, අවම දඩය 5,000ක් කළ යුතුයි කියලා. ජාතික විගණන පනත අවශ්‍ය හොරකම් අඩු කරන්න නම්  හොරකම පාලනය කරන්න නම් ඇයි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නන්ට පනවන දඩය ලක්‍ෂයේ සිට පන්දාහට අඩු කරන්නේ? මේ ආණ්ඩුවේ වුවමනාව තිබෙන්නේ ශක්තිමත් පනතක් කරගන්න එක නොව විගණන පනතක් ගෙනාවා කියලා පොරොන්දු ඉටු කළා කියලා රටට කියන එකයි. ජාතික විගණන පනතට වුණෙත් සේනක බිබිලේ ප‍්‍රතිපත්තියට වුණ දේමයි. සේනක බිබිලේ ප‍්‍රතිපත්තියට ගෙනාවාට ඒක අතුළේ සේනක බිබිලේ ප‍්‍රතිපත්තියේ කරුණු අඩංගු වුණේ නැහැ.

කොමිසමේ බලය දුර්වලයි !

පනතට අනුව යම් මූල්‍ය අක‍්‍රමිකතාවයක් සිදුවී එම අලාභය අයකරගැනීමට නොහැකි වුවහොත් ඊට වගකිව යුතු නිලධාරීන්ට අධිභාරයක් පැනවිය හැකියි. එම අධිභාරය පැනවීමේ බලය විගණන කොමිසමේ සිට අමාත්‍යාංශ ලේකම්ට පවරන්න ආණ්ඩුව සංශෝධනයක් ගෙනාවා. රාජ්‍ය මූල්‍ය අපහරණයක් සිදුවුවහොත් ඊට වගකිවයුතු වන්නේ අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරියා වන අමාත්‍යාංශ ලේකම්වරයායි. මෙහි තිබෙන අපූර්වත්වය තමයි විගණන කොමිසමෙන් අධිභාරයක් පැනවීමට තීරණය කළොත් එම අධිභාරය පැනවීමට පෙර අමාත්‍යාංශ ලේකම්වරයා තවත් විනය කි‍්‍රයාමාර්ගයකට යටත් කිරීමයි. විගණන කොමිසම අධිභාරයක් පැනවීමට තීරණය කළත් නැවත විනය කි‍්‍රයාමාර්ගයක් හෝ අධිකරණ කි‍්‍රයාමාර්ගයක් මගින් එම අධිභාරය පැනවීමට අනවශ්‍යයි කියා නියෝගයක් දුනහොත් ඇති වැඬේ මොකක්ද? ආණ්ඩුව සම්පූර්ණයෙන්ම විගණන කොමිසම සැක කරලා තමයි මේ සංශෝධනය ගෙනත් තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ වෙනස් කිරීම වෙනුවෙන් සංශෝධනයක් ගෙනාවා, එය ආණ්ඩුව ප‍්‍රතික්‍ෂේප කළා. අපි යෝජනා කළේ අධිභාර පැනවීමේ සම්පූර්ණ බලය විගණන කොමිසමට හිමිවිය යුතුයි කියලා.

විගණන කොමිසමට වඩා අමාත්‍යාංශයේ විනය නිලධාරියා බලවත්

නමුත් දැන් සිදුවී තිබෙන්නේ විගණන කොමිසමට වඩා අමාත්‍යාංශයේ විනය නිලධාරියා බලවත් වීමයි. යම් රාජ්‍ය නිලධාරියෙකුට අධිභාර පැනවීමෙන් පසුව එය අසාධාරණ නම් අධිභාර අභියාචනා කමිටුවකට යන්න හැකියාව තිබෙනවා. එසේ තිබියදී එය අමාත්‍යාංශයේ විනය බලධාරියාට යොමුකරන්නේ ඇයි? එසේ සිදුකොට තිබෙන්නේ විගණන කොමිසමේ කි‍්‍රයාවලිය අකී‍්‍රය කරන්නයි. එයින් විගණන කොමිසමේ බලය හෑල්ලූකර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, අමාත්‍යාංශ ලේකම් විගණන කොමිසම නියම කරන අධිභාරය සංශෝධනය කරන්නේ නම් හෝ අධිභාරය පනවන්නේ නැත්නම් එම තීරණය විගණන කොමිසමට දැනුම් නොදී ඉන්නත් පුළුවන්. එවිට විගණන කොමිසමෙන් ඇති පලක් නැහැ. විගණන කොමිසමට අල්ලගත්තට හපන්න බැරි තත්වයක් ඇතිකොට තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරයා වරදක් කළොත් අධිභාර පැනවීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. අමාත්‍යාංශ ලේකම් පත්කරන්නේ ජනාධිපතිවරයාම නිසා ලේකම්ට අධිභාර පනවයි කියලා හිතන්න පුළුවන්කමක් නැහැ. එක පැත්තකින් ජනාධිපතිවරයා දඩ අයකරන්නෙක් බවට පත්කරලා තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අධිභාර පැනෙව්වොත් ඔහුට අධිභාර අභියාචනා කමිටුවකට යන්නත් හැකියාව නැහැ. එනිසා මේ ආණ්ඩුව දේශපාලන වුවමනාවන් අනුව සංශෝධන ඇතුළත් කරන්න ගිහින් හත් පොලේ ගාගෙන තියෙන්නේ. අපි මැදිහත් වෙලා සංශෝධනයක් ගෙනාවා ලේකම්වරුන්ට අධිභාර පැනවීම විගණන කොමිසමට පවරන්න කියලා. නමුත් ආණ්ඩුව අමාත්‍යාංශ ලේකම්වරුන්ට අධිභාර පැනවීමේ බලය ජනාධිපතිවරයාගේ සිට මුදල් අමාත්‍යාංශ ලේකම්ට පවරන්න සංශෝධනයක් ගෙනත් තිබුණා. එවිට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යම් මූල්‍ය අපහරණයක් සිදුකළහොත් ඔහුට එරෙහිව අධිභාර පනවන්නේ කවුද කියලා පනතේ සඳහන් වෙන්නේ නැහැ.

’මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා’

ජනතා විමුක්ති පෙරමුණේ අපි මෙම විගණන පනත යම් තරමකට හෝ බලවත් කිරීමේ අරමුණින් සංශෝධන 16ක් ගෙනාවා. ඉන් සංශෝධන කිහිපයක් ආණ්ඩුව පිළිගත්තා. තවත් සංශෝධන කිහිපයක් ජවිපෙ ඉදිරිපත් කරපු නිසා ප‍්‍රතික්‍ෂේප කරලා එම සංශෝධන ආණ්ඩුවේ සංශෝධන විදිහට ගෙනාවා. ඒක හරියට ’මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා’ කියන ගමේ කතාව වගෙයි. විගණන පනතින් යෝජනා කරලා තිබුණේ ඒකාබද්ධ අරමුදලේ මුදල් පමණක් විගණනයට ලක් කිරීමට හැකිවන පරිදියි. නමුත් අපි සංශෝධනයක් ගෙනාවා, ආණ්ඩුවේ වියදම් පමණක් නොව ආණ්ඩුව ලබන ආදායම් (බදු, දඩ, ණය ආදී) පවා විගණනයට ලක්කළ යුතුයි කියලා. ඒ වගේම විගණකාධිපතිවරයා විසින් යම් පුද්ගලයෙකු විගණනයක් සඳහා කැඳෙව්වොත් එම පුද්ගලයාට  ඕනෑම වෙනත් පුද්ගලයෙකු එවීමට හැකියාව පනතෙන් ලබා දී තිබුණා. ඒ සඳහා ජවිපෙ යෝජනා කළා, අනිවාර්යයෙන් අදාල පුද්ගලයාම කැඳවන්න කියලා. එසේ නොමැති නම් ආදේශ කරන පුද්ගලයා පිළිබඳව විගණකාධිපතිවරයා සෑහීමකට පත්විය යුතුයි. ඒවගේම විගණන කොමිසම විසින් පනවන අධිභාර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් යම් වෙනස් කිරීමකට ලක් කරන්නේ නම් එය නැවත විගණන කොමිසමට වාර්තා කළ යුතුයි කියලා ජවිපෙ විසින් යෝජනා කළා. ඒ වගේම වැරදි තොරතුරු සපයන නිලධාරීන්ට පනවන දඩය අවම වශයෙන් රු. 5,000ක් කළයුතු බවත් ජවිපෙ විසින් යෝජනා කළා.  එවැනි යෝජනා 16ක් ජනතා විමුක්ති පෙරමුණ ජාතික විගණන පනතට යෝජනා කළා.

බොහෝ රජයේ ඉහළ නිලධාරීන් වැරදිවලට යොමුකරන්නේ දේශපාලනඥයන් විසින්. බොහෝ වෙලාවට ඇමතිවරුන්ගේ නියෝග කි‍්‍රයාත්මක කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට සිදුවෙනවා. ඇමතිවරයා නියෝග කරනවා නම්  ඕනෑම චෙක්පතකට අත්සන් කිරීමට ලේකම්වරයාට සිදුවෙනවා. ඒ නිසා තමයි ජාතික විගණන පනත දේශපාලන වුවමනාවන්ට අනුව වෙනස් කරන්න ආණ්ඩුව කටයුතු කළේ. ජාතික විගණන පනත සම්පූර්ණ බලය සහිතව සම්මත වුණානම් ඇමතිවරුන්ගේ රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තියට එරෙහි නියෝග ප‍්‍රතික්‍ෂේප කරන්න  ලේකම්වරුන්ට හැකියාව ලැබෙනවා. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හිරේ ගියේ එවැනි නියෝග කි‍්‍රයාත්මක කරන්න ගිහින්. ගාමිණී සෙනරත් චූදිතයෙක් වෙලා ඉන්නේ එම නිසයි. මේ ඇමතිවරුන්ගේ බලපෑම් නිසා පීඩාවට පත් වෙන්නේ ලේකම්ලා. දේශපාලකයන්ගේ වුවමනාවට තමයි ජාතික විගණන පනත කැබිනට් මණ්ඩලයේදී කිහිප වතාවක් සංශෝධනය වෙන්නේ. අභ්‍යණ්තර විගණනයන් පරීක්‍ෂා කිරීමේ බලය ඉවත් කිරීම, රු. 100,000 දඩය රු. 5000ක් දක්වා අඩු කිරීම, අධිභාර පැනවීමේ බලය ලේකම්වරුන්ට පැවරීම වැනි බොහෝ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණේ රනිල් වික‍්‍රමසිංහ විසින්. එහෙම කළේ තමන්ගේ නියෝග ලේකම්වරුන් ළවා සිදුකර ගැනීමට ඔවුන් චෝදනාවලින් නිදහස් කර ගැනීමේ අරමුණක් ඇතිවයි.

ජාතික විගණන පනත කැබිනට් මණ්ඩලයෙත් රස්තියාදු වෙලා !

මෙම ජාතික විගණන පනත කැබිනට් මණ්ඩලයේ අවුරුදු 3 යි  මාස 3ක් රස්තියාදු කළා. ඒ, ඇමතිවරුන්ට තමන්ට  ඕන විදිහට තමන්ගේ නිලධාරීන් බේරගන්න පනත සංශෝධනය කරගන්නයි. මෙම පනත ඉදිරිපත් වූ මුල් ආකාරයටම නිවරදි  විදිහට පාර්ලිමේන්තුවේදී සම්මත වුණානම් අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඇමතිවරුන්ගේ අයථා බලපෑම්වලට එරෙහිව කටයුතු කරන්න බලය ලැබෙනවා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් බලය ලැබෙනවා. පාර්ලිමේන්තුවට බලය ලැබෙනවා. අවසානයේ රටේ මහජනතාවට බලය ලැබෙනවා. නමුත් ඒ සියල්ල ආණ්ඩුව විසින් අහිමි කොට තිබෙනවා. සම්මත වූ පනතට අනුව අධිභාර පැනවීම, ලේකම්වරුන්ට ලබාදී තිබුණත් මීට පෙරත් එම අධිභාර පැනවීමේ බලය ලේකම්වරුන්ට තිබුණා. 1993 සිට එවැනි අධිභාර පැනවීමේ බලයක් ලේකම්වරුන්ට තිබුණත් මෙතෙක් එක් නිලධාරියෙකුටවත් අධිභාර පැනවිලා නැහැ. එවැනි දුර්වලතා නිසා තමයි ජාතික විගණන පනතක් අවශ්‍ය වුණේ. නමුත් සම්මත කරපු පනතෙන් දූෂණ විරෝධී සංවිධානවලට,දූෂණයට විරුද්ධ සියලූ දෙනාටම අවශ්‍ය දේ ඉටුවෙන්නේ නැහැ.

වෙනත් රටවල විගණන පනත්වලින් විගණකාධිපතිවරයාට විගණන කොමිසමට මීට වඩා බලය ලබාදී තිබෙනවා. 2015දී සම්මත කරගත්ත කෙන්යාවේ විගණන පනතට අනුව යම් මූල්‍ය අක‍්‍රමිකතාවයක් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට, පොලීසියට හෝ ¥ෂණ මර්දන ආයතනවලට පැමිණිලි කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් ලංකාවේ පනතට අනුව විගණකාධිපතිවරයාට බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව දැනුවත් කිරීම පමණයි. ඒ වගේම සම්මත වූ පනත මගින් තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය වන අවස්ථා තිබෙනවා. විගණකාධිපතිවරයා විසින් යම් විගණන පරීක්‍ෂණයක් සිදුකිරීමෙන් පසුව ලැබෙන වාර්තා එම පරීක්‍ෂණය පිළිබඳව යම් අධිකරණ කි‍්‍රයාවලියක් සිදුවන්නේ නම් හෝ සිදුවීමට ඉඩ ඇත්නම් වාර්තා ප‍්‍රසිද්ධ කිරීමට හැකියාවක් නැහැ. එවිට එම විගණන කටයුතු පිළිබඳව ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය වෙනවා. ඒ පිළිබඳව අපි සංශෝධනයක් ඉදිරිපත් කළත් ආණ්ඩුව බාරගත්තේ නැහැ. ඒ නිසා ආණ්ඩුව ජාතික විගණන පනත සම්මත කරගැනීමේදී කටයුතු කළේ විගණන කොමිසමට විගණකාධිපතිවරයාට විගණන නිලධාරීන්ට, ජනතාවට සාධාරණයක් වන ආකාරයෙන් නොවෙයි. රටේ රාජ්‍ය මූල්‍ය පාලනයට සාධාරණයක් වන ආකාරයෙන් පනත සම්මත වුණේ නැහැ. ඒ නිසා අපි ජනතාවටත් මේ රටේ මාධ්‍යවලටත් කියනවා, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑමක් කළ යුතුයි කියලා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප ඉදිරියේදී මෙම පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි අවධානයෙන් ඉන්නවා. ආණ්ඩු පාර්ශ්වයේ මන්තී‍්‍රවරුන් පවා අප විසින් ඉදිරිපත් කළ සංශෝධන සාධාරණ බව පිළිගත්තා. නමුත් ඔවුන්ටත් අන්තිමේදී ආණ්ඩුව නියෝජනය කරමින් එම සංශෝධනවලට විරුද්ධ වෙන්න සිදුවුණා.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

මෙම පනත සම්මත වීමෙන් පස්සේ විගණන කොමිසමට තිබෙන ඇතැම් බලතල අමාත්‍යාංශ ලේකම්ට යනවා. ඒක හරියට බල්ලගේ වැඬේ බූරුවා කිරීමක්. අවුරුදු 3ක් කෙකර ගාලා දාපු බිත්තරය විගණන කොමිසමටවත් විගණකාධිපතිවරයාටවත් සාධාරණයක් වෙලා නැහැ. එනිසා විගණන පනත තමන්ගේ දේශපාලන වුවමනාවන්ට අනුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වග කියන්න  ඕනෑ.
ආණ්ඩුව මාර්ග නීති කඩකරන ජනතාවට රු. 25,000ක දඩයක් නියමකරනකොට රාජ්‍ය මූල්‍ය පරිහරණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන නිලධාරීන්ට අයකරන දඩය රු. ලක්‍ෂයේ සිට රු. 5,000 දක්වා අඩු කරනවා. මේ ආණ්ඩුව කටයුතු කරන්නේ රටේ ජනතාවට සාධාරණයක් වන ආකාරයෙන් නොවන බව එයින් පැහැදිළි වෙනවා. මීට පෙර සිදුවුණේ ආණ්ඩුව විසින් අසාධාරණ ලෙස පනවන දඩ විපක්‍ෂය මැදිහත් වෙලා සංශෝධනයට ලක් කිරීමයි. නමුත් මේ ආණ්ඩුව සිදුකරමින් තිබෙන්නේ තමන් විසින් යෝජනා කරන දඩ මුදල් ආණ්ඩුවම මැදිහත් වෙලා අසාධාරණ ආකාරයෙන් අඩු කිරීමයි.