පාකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 10ක සිර දඬුවමක්.

ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදු කළ දූෂණ සම්බන්ධයෙන් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එරට අධිකරණය විසින් වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ. වගවීම පිළිබඳ ජාතික කාර්යාංශයේ (NAB) අධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ දීර්ඝ ප්‍රමාදයකින් පසුවය.

ඔහුගේ දියණිය වන මාරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට වසරක සිර දඬුවමක් නියම කෙරිණ. තීන්දුව පිළිබඳ ප්‍රතිචාරය පළකරමින් නවාස් ෂරීෆ් කියා සිටියේ දේශපාලන පෙළඹවීම් මත මෙම තීන්දුව ලබා දී ඇති බවය.

ඔහු සහ ඔහුගේ දියණිය ලන්ඩන් නුවර වාසය කරන අතර, නවාස් ෂරීෆ්ගේ බිරිඳ කුල්සූම් නවාස් පිළිකාවකට ප්‍රතිකාර ලබාගනිමින් සිටියි.

ආදායම ඉක්ම වූ වත්කම් හිමි වීම හේතුවෙන් සහ NAB සමග වසරක් සහයෝගයෙන් කටයුතු නොකිරීම යන චෝදනාවලට නවාස් ෂරීෆ්ට එක වර ගෙවී යන පරිදි වසර 10ක සිර දඬුවමක් නියම කිරීමට විනිසුරු මොහොමඩ් බාෂිර් නියෝග කළේය.

අපරාධයකට අනුබල දීම සහ NAB සමග සහයෝගයෙන් කටයුතු නොකිරීම යන චෝදනාවලට දියණිය මාරියම් නවාස් ෂරීෆ්ට එකවර ගෙවී යන පරිදි වසර හතක සිර දඬුවමක් ලබා දී තිබේ. සෆ්රාඩ් අවාන්ට වසරක සිර දඬුවමක් නියම කර ඇත්තේ NAB සමග සහයෝගයෙන් කටයුතු නොකිරීම හේතුවෙනි.

නවාස් ෂරීෆ් සහ මාරියම් නවාස් ෂරීෆ්ට පවුම් මිලියන අටක් සහ පවුම් මිලියන දෙකක් දඩ වශයෙන් ගෙවීමට ද නියම කෙරිණ.

එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි දේපළ ගණනාවක් සම්බන්ධයෙන් පැවති මෙම නඩුව හඳුන්වා ඇත්තේ ‘Avenfield Reference’ යනුවෙනි.

ලන්ඩන් අගනුවර නිවාස මිලදී ගැනීම පිණිස අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය සමාගම් යොදාගෙන ඇතැයි 2015 දී පැනමා ලිපිගොනුවලින් අනාවරණය වී තිබුණි.