ගෝඨා දේශපාලනයට ඕන – ජී.ඇල්..! – ගෝඨා වැනි මිලිටරි නායකයෙකු එපා – වාසු..!

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට තම පක්ෂය හරහා ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණෙන්නැයි ආරාධනා කළ බවත් ඒ සඳහා ඔහුගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා පවසයි. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණු මූලස්ථානයට පැමිණෙනු ඇති බවත් පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයාට සෘජුව ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට කාලය එළඹ ඇති බවයි පීරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි පෙළ නායකයෙකු වන වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ ගෝඨාභය වැනි මිලිටරි නායකයෙකු රටේ නායකත්වයට කිසිසේත් සුදුසු නොවන බවයි. ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ බවයි. ගෝඨාභයගේ වියත් මග වැඩපිළිවෙළ ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළට පරස්පර බවත් එය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ඉදිරි ආණ්ඩුවක වැඩපිළිවෙළ නොවන බවත් නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

රාජපක්ෂ තුන්බෑයන්ගේ බල අරගලය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ගැටුම එළිපිටම සිදුවන අතර එම කණ්ඩායම් තුන නියෝජනය කරන පුද්ගලයන් විටින් විට පරස්පර විරෝධී ප්‍රකාශ නිකුත් කරමින් සිටී.

වාසුදේව නානායක්කාර ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන වාමාංශික කණ්ඩායම් ගෝඨාභයගේ කලඑළි බැසීමට සෘජුවම විරෝධය පළ කරන අතර මිලිටරි නායකත්වයක් බලයට පැමිණීමට කිසිසේත් එකඟ විය නොහැකි බව විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබේ. වාසුදේව වැන්නන් ඒකාධිපති, මිලිටරි නායකයන් පිළිබඳ ලෝක අත්දැකීම් සම්බන්ධයෙන් හදාරා තිබෙන බැවින් එවැනි පාලනයක ප්‍රතිඵල මොනවාද යන්න හොඳින්ම දනී. වාසුලා මේ විරෝධය දක්වන්නේ ඒ පිළිබඳව අවබෝධයකින් ජනතාව පැත්තෙන් සිතා බලා ද එසේ නැතහොත් රාජපක්ෂ තුන්බෑයන්ගේ බල අරගලය නිසාද යන්න නොදනිමු. කෙසේ වෙතත් ගෝඨාභය පොදුජන පෙරමුණට සම්බන්ධ වීම පිළිබඳව එම පක්ෂය තුළින්ම විරෝධය එල්ල වන බව මෙතුලින් පැහැදිලි වේ.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් තවමත් නිශ්චිත වැඩපිළිවෙළක් ඒකාබද්ධ විපක්ෂයට හෝ පොදුජන පෙරමුණට නොමැති අතර වත්මන් තත්ත්වය අනුව ඉදිරිපත්වන ඕනෑම අපේක්ෂකයෙකු පරාජය කිරීම සඳහා පොදුජන පෙරමුණ තුළින්ම වැඩපිළිවෙළක් දියත් වන බව නම් පෙනී යයි.

මේ අතර ෂැන් ග්‍රි-ලා සම්මන්ත්‍රණයෙන් පසුව ගෝඨාභයගේ ‘වියත්මග’ වල්මත් වී ඇති බව පෙනී යයි. එම සම්මන්ත්‍රණයේදී ආචාර්ය රොහාන් ගුණරත්නට දේශනයක් පැවැත්වීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් වියත්මග නායකයන් සැලකිය යුතු ප්‍රමාණයක් කලකිරීමට පත් වූ අතර එදා දේශද්‍රෝහීන් ලෙස රාජපක්ෂලාම අභිෂේක කළ පුද්ගලයන් රාජපක්ෂලා විසින්ම ලංකර ගැනීම ඔවුන්ගේ විරෝධයට හේතු වී ඇත. මෙම තත්ත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට දැඩි අවාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරමින් තිබේ.

(LNW)