ට්‍රම්ප් – කිම් ඓතිහාසික හමුව – දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති

ලෝක දේශපාලනයේ නව හැරවුමක් සනිටුහන් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් අතර ඓතිහාසික හමුව මෙරට වේලාවෙන් අද (12) උදෑසන 06.50ට පමණ සිංගප්පුරුවේ සෙන්තොසා හිදී ආරම්භ විය. නායකයන් දෙපළ උදෑසන 06.30 පමණ වන විට හමුව පැවැත්වෙන කැපෙලා හෝටල් පරිශ්‍රය වෙත පැමිණ තිබුණි.

එහිදී ප්‍රථම වරට මෙම නායකයන්ගේ මුණගැසීම සිදු විය.ඉහත කී අනපේක්ෂිත හමුව සිදු වූයේ වසරක පමණ කාලයක් දෙරටේ නායකයන් අතර පැවති වාග් සංග්‍රාමයකින් අනතුරුවය.

හමුව පිළිබඳ සිය සතුට පළ කළ ඇමරිකානු ජනාධිපතිවරයා, “අපි ඉතාමත් හොඳ සාකච්ඡාවක් පැවැත්වීමට යනවා. එය අතිවිශාල සාර්ථකත්වයක් අත්කර ගනීවි” යනුවෙන් පැවසීය.

වසරකට ඉහත දී එකිනෙකා වෙත පරිභව කරමින් වාග් සංග්‍රාමයක යෙදී සිටි නායකයන් දෙපල, සැහැල්ලුවෙන් සිටින ආකාරයක් දක්නට ලැබිණ.

“මෙතනට පැමිණීම පහසු කටයුත්තක් වුනේ නැහැ, බාධක තිබුනා. නමුත් මෙතනට පැමිණෙන්න ඒ බාධක ජයගත්තා,” නායක කිම් සඳහන් කළේය.

මේ අවස්ථාව පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබුණේ මෙම හමුව ඉතා සාර්ථක වනු ඇති බවයි. හමුව ආරම්භවීමට පැය කිහිපයකට පෙර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් අපේක්ෂා කළාට වඩා යහපත් සහ කඩිනම් ලෙස අමෙරිකානු , උතුරු කොරියානු රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ජා පැවැත්වෙන බවයි.

හමුවේ මුල් විනාඩි 40ක පමණ කාලය නායකයන් දෙපළ පෞද්ගලික සාකච්ජා ආරම්භ කළ අතර ඊට ඔවුන්ගේ භාෂා පරිවර්තකයන් පමණක් සහභාගී වීම විශේෂත්වයකි. පසුව පැවැත්වෙන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජාවට ඇමරිකාව නියෝජනය කරමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ , ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානීයා වන ජෝන් කෙලී සහ ජාතික ආරක්ෂාව පිලිබඳ උපදේශක ජෝන් බෝල්ටන් සහභාගීව සිටියි.

පසුව නායකයන් දෙපල සිය උපදේශකයන් කැටුව දිවා ආහාරය සඳහා ගියහ. සාකච්ඡාවේ මුලික අවධානය, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ යොමුවනු ඇත.

උතුරු කොරියානු නායකයාගේ පාර්ශ්වයෙන් සිය උපදේශකයන් සමඟ පක්ෂ මධ්‍යම කාරක සභාවේ උප සභාපති කිම් යොං චෝල් සහභාගී වී සිටින අතර ඔහු විශේෂ වන්නේ මෙම ඓතිහාසික හමුව අවිනිශ්චිත තත්ත්වයකට පත්වූ මොහොතේ උතුරු කොරියාව නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිය නායකයාගේ පෞද්ගලික ලිපිය රැගෙන ඇමරිකානු ජනාධිපතිවරයා හමුවූ තැනැත්තා ලෙසය.

ඉන් පසුව මෙම හමුව සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවට ඇමරිකාව නිවේදනය කළ අතර ඉන් මහත් අස්වැසිල්ලක් ලබා තිබුණේ ට්‍රම්ප් – කිම් හමුවේ ප්‍රධාන අතරමැදි පාර්ශවකරුවා වූ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ය.

Trump Kim

Reuters

Reuters

Reuters