ගෝඨා වටා ඉන්නෙ ධන කුවේරයින් සහ අන්තවාදී ඒකාධිපති හමුදාකාරයින් – ‘එළිය’ සංවිධානයේ දයාන් ජයතිලක.

හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ යන්නේ වැරදි පාරේ බවත් ඔහු වටා සිටින්නේ මහා ධන කුවේරයින් සහ අන්තවාදී ඒකාධිපති ස්වරූපයේ හමුදාකාරයින් බවත් ප්‍රවීණ දේශපාලන විචාරකයකු සහ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කර තිබේ. ඒ මහතා මෙසේ ප්‍රකාශ කර ඇත්තේ සති අන්ත පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.

ආචාර්ය දයාන් ජයතිලක යනු ගෝටාබය රාජපක්ෂගේ දේශපාලන ආගමනය වෙනුවෙන් මුලින්ම ගොඩ නැඟූ ‘එළිය’ සංවිධානයේ ප්‍රධානියෙකි. ඔහු එම සංවිධානය වෙනුවෙන් විශාල වැඩකොටසක් ද ඉටු කළ අයෙකි.

ඒ අනුව පෙනී යන්නේ, ගෝටාබය රාජපක්ෂගේ සමීපතමයින් පවා දැන් ඔහුට දැඩි විවේචන එල්ල කිරීමට පටන් ගෙන ඇති බවයි. ගෝටාබය රාජපක්ෂ කුමන සමක් පෙරවාගෙන දේශපාලනයට පිවිසෙන්නට උත්සාහ කළ ද ඔහුගේ සැබෑ ස්වරූපය මතුවනු අයුරු මුලින්ම පෙනෙන්නේ ඔහුගේ සමීපතමයින්ටය. එහෙයින් මුලදී මහත් උනන්දුවෙන් ගෝටාබය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් පවා දැන් දැන් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහි වෙමින් සිටීන බව මෙයින් පෙනී යයි.