ඇලෝසියස්ගෙන් ලක්ෂ 30ක් ලබාගත් සුජීව සේනසිංහ ඉල්ලා අස්විමට සැරසෙයි..!

දූෂිත බැඳුම්කර ගනුදෙනුවේ වගඋත්තරකරුවෙකු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. අගමැතිවරයා, කතානායකවරයා හෝ මහා නාහිමිවරුන් එවැනි ඉල්ලීමක් සිදු කළහොත් තමා මන්ත්‍රධූරය අත්හැරීමට සූදානම් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. මේ අතර මෙන්ඩිස් සමාගමෙන් ලබාගත් මිලියන 03 ක මුදල සමාජ සේවා කටයුත්තක් වෙනුවෙන් යෙදවීමට ද තමා සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
තම මැතිවරණය ව්‍යාපාරය වෙනුවෙන් අදාල මුදල ලැබුණු බවත් මෙන්ඩිස් සමාගම නීත්‍යනුකූල සමාගමක් බැවින් එම මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් තමාට කිසිදු ගැටලුවක් නොතිබූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් මේ වනවිට අනාවරණයවී ඇත්තේ මෙම මුදල් මැතිවරණයෙන් පසුව එනම් 2015 අගොස්තු 17 වනදායින් පසු ලබාගෙන ඇතිබවයි.
පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමට අනුබද්ධිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් එක්තරා රාජ්‍ය ඇමැතිවරයකුට පසුගිය 2015.08.24 දින සිට 2016.03.31 වන දින දක්වා කාලය අතරතුරදී අවස්ථා තුනකදී රුපියල් ලක්ෂ 30 ක චෙක්පත් ලබාදී ඇති බවත් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් එම මුදල් චෙක්පත් මාරුකර ඔහුට මුදල් ලබාදී ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි ‍‍‍ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.