CIDයට ප්‍රකාශ ලබා දීමට සුදානම් බව මහින්ද කීවත් තවම දිනයක් ලබාදී නැහැ.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඕනෑම අවස්‌ථාවක අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබා දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය. මෙම ප්‍රකාශ ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව තමාගෙන් දිනයක්‌ ඉල්ලා ඇති නමුත් මෙතෙක් ඒ සඳහා නිශ්චිත දිනයක්‌ නොදුන් බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.

කීත් නොයාර් පැහැරගෙන ගිය අවස්ථාවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව ගෝඨාභය රාජපක්ෂට දුරකථන ඇමතුමක් ලබාදී ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක්‌ ලබා ගැනීමට දිනයක්‌ ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.