පර්පෙචුවල් ‘බෑණා’ මහ බැංකුවේ ‘මාමා’ ට ලක්ෂ 32ක් පෞද්ගලික වියදම් පියවිමට දීලා..!

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාට ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්හට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම අවස්ථා තුනකදී රුපියල් මිලියන 3.2 ක චෙක්පත් නිකුත් කර ඇතැයි, අද අධිකරණයේදී අනාවරණ විය. බැඳුම්කර වංචාව පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවේදී කරුණු දැක්වූ අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ, මහ බැංකුව මහේන්ද්‍රන් මහතාට නිකුත් කර තිබූ සිමා රහිතව වියදම් කළ හැකි ක්‍රෙඩිට් කාඩ් පතෙන් සිදු කළ පෞද්ගලික වියදම් පියවිම සඳහා එම මුදල් වැය කර ඇති බවයි.

අර්ජුණ මහේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික ලේකම්වරියවූ අමිලා දහනායක , මෙම චෙක්පත් මාරු කිරීම සඳහා කාර්යාල කාර්ය සහකයෙකුට ලබා දී ඇති බව ද අද අධිකරණයේදී අනාවරණ විය.

නඩුවේ සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.