මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිද්ධියට CIDය මහින්දගෙන් ප්‍රශ්න කිරිමට යයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රශ්ණ කිරීමට නියමිතව ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසා සිටියේය. කීත් නොයාර් පැහැරගෙන ගිය අවස්ථාවේ කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව ගෝඨාභය රාජපක්ෂට දුරකථන ඇමතුමක් ලබාදී ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තරයක්‌ ලබා ගැනීමට දිනයක්‌ ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවද පැවසේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගෙන්ද මීට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ප්‍රශ්න කළහ.
එහිදී හෙළි වූ වැදගත් තොරතුරු කීපයක්‌ සම්බන්ධයෙන් මෙසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කට උත්තරයක්‌ ලබා ගැනීමට නියමිත බව වැඩි දුරටත් පැවසේ.
කීත් නොයාර් පැහැර ගැනීම පිළිබඳව මුලින්ම තොරතුරු ලැබුණේ තමාට බවත් ඒ මොහොතේම එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කථාකර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ බ‍ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ මහතා ප්‍රකාශ කර ඇති බවද වැඩි දුරටත් පැවසේ.